Back to articles
World Knowledge3 Sept 2026 · 3 min read

Albert Einstein Brain

EdSpero teaching desk
Sinhala and English medium

අපි කවුරුත් දන්නා විදියට ඇල්බට් අයින්ස්ටයින් කියන්නේ ලෝකය වෙනස් කරපු අසමසම බුද්ධිමතෙක්. ඔබ කවදාහරි හිතුවද ඔහුගේ මේ අසාමාන්‍ය බුද්ධිය පිටුපස තිබුණු රහස මොකක්ද කියලා? ගොඩක් අය හිතන්නේ බුද්ධිය රදා පවතින්නේ "මොළයේ ප්‍රමාණය" මත කියලා. නමුත්, ඔහුගේ මොළය සාමාන්‍ය පිරිමියෙකුගේ මොළයටත් වඩා කුඩා වූ බව ඔබ දැන සිටියාද?

මේ ලෝකප්‍රකට විද්‍යාඥයාගේ මොළය ඇතුළේ සැඟවුණු ඒ පුදුම සහගත රහස් කිහිපය අද සොයා බලමු.

අයින්ස්ටයින්ගේ මොළය ගැන තිබුණු ලොකුම පුදුමය තමයි ඒකේ ප්‍රමාණය. සාමාන්‍ය පිරිමියෙකුගේ මොළයක් ග්‍රෑම් 1,400ක් (රාත්තල් 3ක්) විතර බර වෙද්දී, අයින්ස්ටයින්ගේ මොළයේ බර වුණේ ග්‍රෑම් 1,197ක් (රාත්තල් 2.64ක්) විතරයි!

නමුත් ප්‍රමාණය කුඩා වුණාට, ඔහුගේ මොළයේ පහළ පාර්ශ්වික පෙදෙස (Inferior Parietal Lobe) සාමාන්‍ය කෙනෙකුට වඩා 15%ක් පළලින් වැඩි වුණා. දෘශ්‍ය දේවල් ගැන හිතන්න සහ ගණිතමය තර්කනයට වගකියන්නේ මේ කොටසයි. අයින්ස්ටයින්ගේ "සාපේක්ෂතාවාදය" වගේ සංකීර්ණ සිද්ධාන්ත බිහිවෙන්න මේ සුවිශේෂී හැඩය ලොකු උදව්වක් වෙන්න ඇති කියලා විද්‍යාඥයෝ විශ්වාස කරනවා.

අපේ මොළයේ සාමාන්‍යයෙන් සිල්වියන් විඛණ්ඩනය (Sylvian fissure) කියලා හැඳින්වෙන ගැඹුරු සියුම් පැලීමක් තියෙනවා. හැබැයි අයින්ස්ටයින්ගේ මොළයේ මේ පැලීම තිබුණේ නැහැ (නැත්නම් ඉතාමත් කුඩායි).

මේ නිසා මොකද වුණේ? අර කලින් කිව්ව "පාර්ශ්වික පෙදෙසට" කිසිම බාධාවක් නැතුව හොඳට වැඩෙන්න ඉඩ ලැබුණා. හරියට තාප්පයක් නැති නිසා ගෙවත්ත ලොකුවට පේනවා වගේ, ඔහුගේ මොළයේ සෛල අතර සම්බන්ධතා ඉතාමත් වේගයෙන් සිද්ධ වුණා.

මොළයේ වම් පැත්තයි දකුණු පැත්තයි එකිනෙකා එක්ක සන්නිවේදනය කරන්නේ කෝපස් කැලෝසම් (Corpus Callosum) කියන ස්නායු තන්තු මිටිය හරහායි.

අයින්ස්ටයින්ගේ මොළයේ මේ "පාලම" සාමාන්‍ය කෙනෙකුට වඩා ගොඩක් ඝනකමින් වැඩියි. ඒ කියන්නේ ඔහුගේ මොළයේ කොටස් දෙක අතර තොරතුරු හුවමාරු වුණේ සුපිරි අධිවේගී මාර්ගයක වාහන යනවා වගේ හරිම කාර්යක්ෂමවයි. තර්කනය (වම් මොළය) සහ නිර්මාණශීලිත්වය (දකුණු මොළය) එකවර පාවිච්චි කරන්න ඔහුට තිබුණු හැකියාවට රහස මේකයි!

1985 දී කළ පරීක්ෂණයකින් හෙළි වුණා අයින්ස්ටයින්ගේ මොළයේ ග්ලයිල් සෛල (Glial cells) සාමාන්‍ය ප්‍රමාණයට වඩා වැඩි බව. මේ සෛලවල වැඩේ තමයි ස්නායු සෛල (Neurons) වලට අවශ්‍ය පෝෂණය දෙන එක සහ ඒවා ආරක්ෂා කරන එක. මේ නිසා ඔහුගේ මොළයේ සෛලවලට වැඩි ශක්තියක් සහ වේගයක් ලැබුණා. ඔබ හිතනවා ඇති මේ දේවල් අයින්ස්ටයින්ට උපතින්ම ලැබුණු දේවල් කියලා. හැබැයි නූතන විද්‍යාව කියන්නේ වෙනම කතාවක්. ඒ තමයි මොළයේ නම්‍යශීලීභාවය (Neuroplasticity).

ආචාර්ය මේරියන් ඩයමන්ඩ්ගේ පර්යේෂණවලින් ඔප්පු වුණේ, අපි අලුත් දේවල් ඉගෙන ගන්න කොට, අභියෝග භාරගන්න කොට සහ පොහොසත් පරිසරයක ජීවත් වෙනකොට අපේ මොළයේ ග්ලයිල් සෛල ප්‍රමාණය වැඩි වෙනවා වගේම මොළයේ සම්බන්ධතා ශක්තිමත් වෙනවා කියලයි.

අයින්ස්ටයින්ගේ වයස අවුරුදු 76 දීත් ඔහුගේ මොළයේ වයස්ගත වීමේ සලකුණු තිබුණේ නැතිලු. ඒ කියන්නේ ඔහු නිතරම තමයි මොළය වෙහෙසවලා අලුත් දේවල් හිතන්න පුරුදු වෙලා සිටියා. "බුද්ධිය කියන්නේ ඉපදෙනකොට ලැබෙන දෙයක් විතරක් නෙවෙයි, අපි මහන්සියෙන් ගොඩනගා ගන්නා දෙයක්!"

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account