Back to articles
History & Heritage3 Sept 2026 · 4 min read

එක් වෙඩි පහරින් ඇවිලුණු පලමු ලෝක යුද්ධය

EdSpero teaching desk
Sinhala and English medium

1914 ගිම්හාන කාලයේදී යුරෝපය පිටතින් බැලූ බැල්මට පෙනුණේ හරිම සාමකාමී විදිහට. නගර කාර්යබහුල වුණා, මිනිස්සු තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන ගියා.

නමුත් මේ නිශ්ශබ්දතාවයට යටින් වසර ගණනාවක ඉඳන් ලොකු නොසන්සුන්කමක් ගොඩනැගෙමින් තිබුණා.

බලවත් ජාතීන් තමන්ගේ බලය පතුරුවන්න තරඟ කළා, විශාල හමුදාවන් හැදුවා, රහසිගත ගිවිසුම් ඇති කරගත්තා. හරියටම එලියට සාමාන්‍යයෙන් පේන වියලි දර පිරුණු කාමරයක් වගේ. පුංචි ගිනි පුපුරක් විතරයි අවශ්‍ය උනේ.

ඒ ගිනි පුපුර ආවේ සරාජේවෝ (Sarajevo) කියන නගරයෙන්.

1914 ජුනි 28 වෙනිදා, ඔස්ට්‍රියාව-හංගේරියාවේ ඔටුන්න හිමි කුමාරයා වුණු ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් (Franz Ferdinand) නිල සංචාරයක් සඳහා සරාජේවෝ නගරයට පැමිණියා.

ඔහු වහලය විවෘත කරපු කාර් එකකින් වීදි දිගේ යනකොට, ගව්රිලෝ පින්සිප් (Gavrilo Princip) නම් තරුණ ජාතිකවාදියෙක් ඉදිරියට ඇවිත් වෙඩි පහරවල් දෙකක් එල්ල කළා.

විනාඩි කිහිපයක් ඇතුළත කුමාරයා සහ ඔහුගේ බිරිඳ මියගියා.

මුලින්ම මේක පෙනුණේ සාමාන්‍ය දේශපාලනික ඝාතනයක් වගේ. නමුත් මෙහි ප්‍රතිඵලය ඉතා ඉක්මනින් මුළු ලෝකය පුරාම පැතිර ගියා.

ඔස්ට්‍රියා-හංගේරියානු නායකයන් විශ්වාස කළේ මේ ප්‍රහාරකයන්ට සර්බියාවේ සහයෝගය ලැබුනා කියලා. සති කිහිපයක තර්ජන සහ නොසන්සුන්කම් වලින් පස්සේ, 1914 ජූලි 28 වෙනිදා ඔස්ට්‍රියාව-හංගේරියාව සර්බියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. එක් ප්‍රදේශයකට විතරක් සීමා වෙන්න තිබුණු ගැටුමක් හරිම ඉක්මනින් වඩා ලොකු දෙයක් බවට පත් වුණා.

ඒ කාලයේ යුරෝපය බලවත් සන්ධාන වලට බෙදිලයි තිබුණේ. සර්බියාවට රුසියාවේ සහයෝගය තිබුණා. ඔස්ට්‍රියාව-හංගේරියාවට ජර්මනියේ සහයෝගය තිබුණා. රුසියාව තමන්ගේ හමුදාව සූදානම් කරන්න පටන් ගත්තම, ජර්මනිය රුසියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. ඊට පස්සේ රුසියාවේ මිත්‍රයෙක් වුණු ප්‍රංශයත් මේ ගැටුමට එකතු වුණා. දවස් කිහිපයක් ඇතුළත, ප්‍රාදේශීය ප්‍රශ්නයක් මුළු යුරෝපයම වෙළාගත්තු යුද්ධයක් බවට පත් වුණා.

ප්‍රංශය ඉක්මනින් පරාජය කරන්න ජර්මනියට සැලසුමක් තිබුණා. ඒ වෙනුවෙන් ජර්මන් හමුදා මධ්‍යස්ථ රටක් වුණු බෙල්ජියම ආක්‍රමණය කළා. බෙල්ජියමේ මධ්‍යස්ථභාවය ජාත්‍යන්තර ගිවිසුම් මගින් ආරක්ෂා කරලයි තිබුණේ. ජර්මනිය බෙල්ජියම් සීමාව හරහා යද්දී, 1914 අගෝස්තු මාසයේදී එක්සත් රාජධානිය ජර්මනියට එරෙහිව යුද්ධ ප්‍රකාශ කළා. දැන් යුද්ධය වේගයෙන් මුළු යුරෝපය පුරාම පැතිරෙන්න පටන් ගත්තා.

වැඩි කල් නොගොස් ලෝකය ප්‍රධාන කණ්ඩායම් දෙකකට බෙදුණා.

මිත්‍ර පක්ෂය (The Allied Powers)

එක්සත් රාජධානිය

ප්‍රංශය

රුසියාව

සර්බියාව

(පසුව ඉතාලිය සහ ඇමරිකා එක්සත් ජනපදයත් එකතු වුණා)

මධ්‍යම බලවතුන් (The Central Powers)

ජර්මනිය

ඔස්ට්‍රියාව-හංගේරියාව

ඔටෝමාන් අධිරාජ්‍යය (තුර්කිය)

බල්ගේරියාව

රටවල් දෙකක් අතර ආරම්භ වුණු පුංචි රණ්ඩුවක් දැන් ගෝලීය යුද්ධයක් බවට පත්වුනා.

හමුදාවන් යුරෝපය පුරා ඉදිරියට යද්දී ඔවුන්ට තේරුම් ගියා නවීන ආයුධ නිසා යුද්ධය කලින්ට වඩා ගොඩක් භයානකයි කියලා. මැෂින් තුවක්කු, විශාල කාලතුවක්කු සහ කම්බි වැටවල් නිසා යුද බිම මරණයේ කලාපයක් වුණා. බේරෙන්න නම්, සෙබළුන්ට කිලෝමීටර් සිය ගණනක් දිග ආරක්ෂක අගල් හාරන්න සිද්ධ වුණා.

මේ අගල් ඇතුළේ ජීවිතය හරිම දුක්ඛිතයි. සෙබළුන්ට මඩ, රෝග, අධික සීතල සහ නිරන්තර බෝම්බ ප්‍රහාර වලට මුහුණ දෙන්න වුණා. බොහෝ සටන් වලින් දහස් ගණන් මිනිස්සු මැරුණත්, යුද සීමා වල ලොකු වෙනසක් වුණේ නැහැ.

වසර කිහිපයක් යනකල් ඇමරිකා එක්සත් ජනපදය මේකට සම්බන්ධ වුණේ නැහැ. නමුත් ජර්මනිය සබ්මැරීන භාවිතා කරලා අත්ලාන්තික් සාගරයේ තිබුණු නැව් වලට ප්‍රහාර එල්ල කරන්න පටන් ගත්තා. ඇමරිකානු නැව් සහ පුරවැසියන්ටත් මෙයින් හානි වෙද්දී, 1917 දී ඇමරිකාව මිත්‍ර පක්ෂයත් එක්ක එකතු වෙලා යුද්ධයට ආවා. මෙය මිත්‍ර පක්ෂයට අලුත් සෙබළුන් සහ සම්පත් ලබාගන්න ලොකු ශක්තියක් වුණා.

1918 වෙද්දී මධ්‍යම බලවතුන් හෙම්බත් වෙලා හිටියේ. ඔවුන්ගේ ආර්ථිකය කඩා වැටුණා, සෙබළුන් හෙම්බත් වුණා, සහ තමන්ගේ රටවල් ඇතුළෙම විප්ලව ඇති වෙන්න පටන් ගත්තා.

අන්තිමේදී ජර්මනිය සටන නතර කරන්න එකඟ වුණා. 1918 නොවැම්බර් 11 වෙනිදා සටන් විරාම ගිවිසුමක් අත්සන් කෙරුණා. තුවක්කු නිහඬ වුණා.

පළමු ලෝක යුද්ධය අවුරුදු හතරක් පුරා පැවතුණා, එයින් විශාල විනාශයක් වුණා. කෝටි 1.6 කට ආසන්න පිරිසකට ජීවිත අහිමි වුණා, විශාල අධිරාජ්‍යයන් කඩා වැටුණා. මේ සියල්ල එක නගරයක සිද්ධ උන වෙඩි පහරක් නිසා ඇති උන ප්‍රථිඵල.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account