Back to articles
History & Heritage3 Sept 2026 · 3 min read

වසර 28 ක් පුරා නගරයක් දෙකට බෙදූ තාප්පය

EdSpero teaching desk
Sinhala and English medium

යුරෝපයේ මධ්‍යයේ, එකම වීදියකින් ලෝක දෙකක් වෙන් කළ හැකි නගරයක් එකල තිබුණා. එක රැයකින් පවුල් විසිරී ගිය තැනක්. නිදහස සහ පාලනය එකිනෙකාට මුහුණ දී සිටි තැනක්. ඒ නගරය බර්ලිනයයි. වසර 28 ක් තිස්සේ එය තාප්පයකින් බෙදී පැවතුණා.

දෙවන ලෝක යුද්ධයෙන් පසු ජර්මනිය පරාජය වී මිත්‍ර පාර්ශවීය බලවතුන්ගේ පාලනයට නතු වුණා. නමුත් වැඩි කල් නොගොස්, පෙර මිතුරන්ව සිටි පිරිස් ප්‍රතිවාදීන් බවට පත් වුණා. ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය සහ ප්‍රංශය ජර්මනියේ බටහිර කොටස පාලනය කළ අතර සෝවියට් සංගමය නැගෙනහිර කොටස පාලනය කළා.

බර්ලිනය නැගෙනහිර දෙසින් පිහිටා තිබුණත්, එය ද කොටස් දෙකකට බෙදුණා:

බටහිර බර්ලිනය – බටහිර රටවල බලපෑමට ලක් වූ කොටස.

නැගෙනහිර බර්ලිනය – සෝවියට් සංගමය විසින් පාලනය කළ කොටස.

පද්ධති දෙකක්. මතවාද දෙකක්. එකම නගරයක්.

බටහිර බර්ලිනයේ ජීවිතය වඩාත් විවෘත වූ අතර ආර්ථික වශයෙන් ශක්තිමත් වුණා. ඊට වෙනස්ව, නැගෙනහිර ජර්මනියේ දැඩි රජයේ පාලනයක් තිබුණා. එහි ප්‍රතිඵලයක් ලෙස නැගෙනහිර දහස් ගණනක් ජනයා නගරය හරහා බටහිරට පලා යාමට පටන් ගත්තා. නැගෙනහිර ජර්මානු රජයට මෙය බරපතල ගැටලුවක් වුණා. ඔවුන්ට ඔවුන්ගේ කම්කරුවන්, වෘත්තිකයන් සහ තරුණ පරම්පරාව අහිමි වෙමින් පැවතුණා.

1961 අගෝස්තු 13 වන දින රාත්‍රියේ සියල්ල වෙනස් වුණා. සොල්දාදුවන් පැමිණියා. කටුකම්බි වැටවල් ගැසුවා. පාරවල් අවහිර කළා. උදෑසන වන විට බාධකයක් මගින් නගරය දෙකට කපා වෙන් කර තිබුණා. පවුල්වල සාමාජිකයන් අවදි වන විට ඔවුන් එකිනෙකාගෙන් වෙන් වී ඇති බව දැනගත්තා. කාලයත් සමඟ මෙම තාවකාලික බාධක වෙනුවට කොන්ක්‍රීට් තාප්පයක්, මුරගෙවල් සහ සන්නද්ධ මුරපොලවල් ඉදි වුණා. බර්ලින් තාප්පය නිර්මාණය වුණා.

මෙම තාප්පය හුදෙක් කොන්ක්‍රීට් ගොඩක් පමණක් නොවෙයි. එය පද්ධති දෙකක් අතර බෙදීමේ සංකේතයක්.

අවසරයකින් තොරව තාප්පය හරහා යාම ඉතා භයානක වුණා. බොහෝ දෙනෙක් පලා යාමට උත්සාහ කළා. ඇතැමුන් උමං මාර්ග, රහස් කුටි හෝ එඩිතර සැලසුම් මගින් සාර්ථක වුණා. තවත් පිරිසක් හසු වුණා වගේම උත්සාහ කිරීමේදී ජීවිත අහිමි කරගත්තා.

දශක තුනකට ආසන්න කාලයක් බර්ලිනය බෙදී පැවතුණා. පරම්පරා ගණනාවක් සම්පූර්ණයෙන්ම වෙනස් ජීවිත ගත කරමින් දෙපස හැදී වැඩුණත් මේ තාප්පය ඔවුන් පිලිගත්තේ නෑ.

1989 නොවැම්බර් මාසයේදී බලාපොරොත්තු නොවූ දෙයක් සිදු වුණා. දේශපාලන වෙනස්කම් සහ වර්ධනය වන මහජන පීඩනය හේතුවෙන් දහස් ගණනක් ජනයා තාප්පය අසලට රැස් වුණා. කුමක් කළ යුතු දැයි අවිනිශ්චිත වූ ආරක්ෂක භටයන් අවසානයේ පසෙකට වන්නට සිදුවුයේ ඉදියෙට එන ජනතාව හේතුවෙන්. වසර 28 කට පසු පළමු වරට මිනිසුන් නිදහසේ එහා මෙහා ගියා. නගරය බෙදා තිබූ තාප්පය සහ සංකල්පය බිඳ වැටෙන්නට පටන් ගත්තා.

බර්ලින් තාප්පය යනු හුදෙක් භෞතික බාධකයක් පමණක් නොවෙයි. එය බලය සහ මතවාදය මගින් බෙදුණු ලෝකයක් නියෝජනය කළා. එහි බිඳ වැටීම සීතල යුද්ධයේ අවසානය සනිටුහන් කළා.

අද බර්ලිනය යළිත් එකම නගරයක්. තාප්පයේ ඉතිරිව ඇත්තේ කලා නිර්මාණ සහ ඉතිහාසයෙන් වැසුණු කුඩා කොටස් කිහිපයක් පමණයි. ඒවා නගරයක් දෙකට බෙදී තිබූ කාලයක මතකයන් ලෙස පවතිනවා. තාප්ප මගින් හුදෙක් භූමිය පමණක් නොව, මිනිස් ජීවිත පවා බෙදා වෙන් කළ කාලයක මතක් කිරීමක් ලෙස ඒවා පවතිනවා. එමෙන්ම, කොතරම් ශක්තිමත් බාධක වුවත් අවසානයේ බිඳ වැටිය හැකි බවට ඒවා සාක්ෂි දරනවා.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account