Back to articles
History & Heritage3 Sept 2026 · 3 min read

යුද්ධෙකට තේ කෝප්පෙකුත් ඇති

EdSpero teaching desk
Sinhala and English medium

18 වැනි සියවසේදී 'තේ' කියන්නේ නිකම්ම නිකම් පානයක් නෙවෙයි ලෝකයක් පාලනය කරපු ව්‍යාපාරයක්. ඒ වගේම බලයේ සංකේතයක්.

අන්තිමේදී යුද්ධයකට මුල පිරූ හේතුවක්.

ඒ කාලේ ඇමරිකානු යටත් විජිත පාලනය කළේ බ්‍රිතාන්‍ය රජය මඟින්. බ්‍රිතාන්‍යය මේ යටත් විජිතවල වෙළඳාම පාලනය කරමින් විවිධ බදු පැනෙව්වා. හැබැයි මේ තීරණ ගන්න තැන්වල ඇමරිකානුවන්ට කිසිම නියෝජනයක් තිබුණේ නැහැ.

මේ නිසා මිනිස්සු අතර ලොකු කේන්තියක් ඇතිවුණා. ඔවුන් නිතරම තමන්ට පනවන බදු ගැන විමසමින් හිටියේ.

1773 දී බ්‍රිතාන්‍යය 'තේ පනත' සම්මත කළා. පිටතින් බලද්දී මෙයින් තේ වල මිල උනාට ඒ අස්සේ තිබුනේ උගුලක්. ඒ හරහා බලවත් East India සමාගමට තේ වෙළඳාමේ සම්පූර්ණ බලය ලැබුණා. ඒ නිසා දේශීය වෙළෙන්දෝ අසරණ වුණා.

ඇමරිකානුවෝ මේක දැක්කේ නිකම්ම බද්දක් විදිහට නෙවෙයි. තමන්ව සම්පූර්ණයෙන් පාලනය කරන්න හදපු උපක්‍රමයක් විදිහට.

1773 දෙසැම්බර් මාසයේ එක රාත්‍රියක, පිරිසක් වෙස්වලාගෙන බොස්ටන් වරායේ නවතා තිබුණු බ්‍රිතාන්‍ය නැව්වලට හොරෙන්ම ගොඩවෙලා තේ පෙට්ටි 342ක් මුහුදට විසි කළා. මේ සිදුවීම ඉතිහාසයට එක්වුණේ 'බොස්ටන් ටී පාර්ටි' නමින්.

මේ සිදුවීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය රජය හිටියේ නොසන්සුන්තාවයකින්. ඒ තේ විනාශ කරමින් ඔවුන්ගේ බලයට අභියෝග කරපු නිසා. දඬුවමක් විදිහට බ්‍රිතාන්‍යය දැඩි නීති පැනෙව්වා. ඔවුන් හමුදා බලය වැඩි කරමින් බොස්ටන් වරාය වසා දැමුවා. පාලනය දැඩි වීමත් එක්කම තත්වය තවත් දරුණු උනා.

තේ සහ බදු ගැන ඇතිවුණු මේ විරෝධය වේගයෙන් ජනපද පුරා පැතිරුනා. විඕධතා හේත්ය්වෙන නොසන්සුන්තාවය තවත් වැඩි උනා.

1775 වෙද්දී සටන් ඇවිලුණා. ඇමරිකානු නිදහස් අරගලය ආරම්භ උනේ ඒ ආකාරයෙන්.

මේ ගැටුමට මුල් උනේ නිෂ්පාදනයක් විදියට තේ උනාට ඒ පිටිපස්සේ වෙන හේතු තියෙනවා. බලය පිළිබඳ ගැටලු, තමන්ගේ නියෝජනයක් ඉල්ලීම, ආර්ථික පාලනය වගේ කාරණා ඒ පිටුපස ගැටගැහිලා තිබුනා. තේ කියන්නේ ඒ හැම ගැටලුවක්ම පුපුරා යන්න හේතු වුණු පුංචි ගිනි පුපුර විතරයි.

මුහුදට විසි කරපු තේ පෙට්ටි කිහිපයක් පොඩි දෙයක් වගේ පෙනෙන්න පුළුවන්. හැබැයි ඒකෙන් ඇතිවුන සිද්ධීන් කීපය පොඩි නෑ. නිදහස සඳහා යුද්ධයක්, නව ජාතියක් වගේම ලෝක බලය වෙනස් වෙන්න පටන් ගත්තා.

මේ කතාවෙන් පේනවා වෙළඳාම සහ ආර්ථිකය ලෝකය වෙනස් කරන්නේ කොහොමද කියලා. පුංචි නිෂ්පාදනයක්, රජයක තීරණයක් සහ මිනිස්සුන්ගේ එක ප්‍රතිචාරයක් ඇති මුළු ඉතිහාසයම උඩුයටිකුරු කරන්න.

සමහර වෙලාවට යුද්ධ පටන්ගන්න තුවක්කුම ඕන වෙන්නේ නැහැ. සමහර වෙලාවට තේ කෝප්පයක් වුණත් ඒකට ඇති.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account