Back to articles
History & Heritage3 Sept 2026 · 3 min read

එක රැයකින් නගරයක් බිහි කළ රත්තරන් උණ

EdSpero teaching desk
Sinhala and English medium

1848 වසරේදී කැලිෆෝනියාවේ නිහඬ භූමියක් ලෝක ඉතිහාසයම වෙනස් කළා. ගඟක් අසල තිබුණු කුඩා දැව මෝලක වැඩ කළ සේවකයෙකුට වතුරේ යමක් දිලිසෙනවා පෙනුණා. ඒ රත්තරන්. ඒ එකම එක සොයා ගැනීම, දුර බැහැර පළාතක් ලෝකයේ ප්‍රසිද්ධම නගරයක් බවට පත් කළා. ඒ තමයි සැන් ෆ්රැන්සිස්කෝ(San Francesco) නගරය.

රත්තරන් හමු වූ ආරංචිය අසල නගරවලට පැතිර යත්ම, මිනිස්සු රට්තරන් හොයන්න අවශ්‍ය ආයුධ සහ බලාපොරොත්තු පොදි බැඳගෙන ගංගා අසලට දුවගෙන ආවා. මුලදී මේ සිදුවීම ප්‍රාදේශීය සිදුවීමක් වුණත්, පසුව ආරංචිය ලොව පුරා පැතිර ගියා. වැඩි කල් නොගොස් ලෝකයේ විවිධ දෙසින් නැව් පැමිණෙන්නට පටන් ගත්තා.

ඇමරිකාවේ අනෙකුත් ප්‍රදේශවලින්, යුරෝපයෙන්, ලතින් ඇමරිකාවෙන්, ආසියාවෙන් මේ හැමතැනින්ම ආව මිනිස්සු ලුහුබැඳගෙන ගියේ එකම සිහිනයක්. ඒ තමයි රත්තරන්.

1849 වන විට දහස් ගණන් ජනයා කැලිෆෝනියාවට ගලා ආවා. පසුව ඔවුන්ව "ෆෝටි නයිනර්ස්" (Forty - Niners) ලෙස හැඳින්වූවා. ඒ ගමන ලෙහෙසි වුණේ නැහැ. ඇතැමුන් මාස ගණනාවක් මුහුදේ සංචාරය කළා. තවත් පිරිසක් භයානක ගොඩබිම් මාර්ග හරහා පැමිණියා. රන් නිධි වෙත ළඟා වීමට බොහෝ දෙනෙක් තමන් සතු සියල්ල පරදුවට තැබුවා. නමුත් ඔවුන් එහි පැමිණි විට බලාපොරොත්තු නොවූ දෙයකට මුහුණ දෙන්නට උනා. රත්තරන් සොයා ගැනීම ඔවුන් හිතුව තරම් ලෙහෙසි වුණේ නැහැ.

මෙම සිද්ධිය ආරම්භ වීමට පෙර සැන් ෆ්රැන්සිස්කෝව ඉතා කුඩා ජනාවාසයක්. නමුත් කෙටි කාලයක් තුළ එය කාර්යබහුල නගරයක් බවට පත් වුණා. කූඩාරම් තිබුණු තැන්වල ගොඩනැගිලිද, පටු පාරවල් මහා වීදි බවටද, පොඩි කඩසාප්පු මහා ව්‍යාපාර බවටද හැරවුනා.

වසර කිහිපයක් ඇතුළත එහි ජනගහනය සිය ගණනක සිට දස දහස් ගණනක් දක්වා ඉහළ ගියා. එය ඉතිහාසයේ වේගවත්ම නගර නිර්මාණයන්ගෙන් එකක්.

ඇතැම් පතල් කම්කරුවන් ධනවතුන් වුවත්, බහුතරයකට එය සාර්ථක වුණේ නැහැ. මිනිසුන් වැඩි වැඩියෙන් පැමිණෙන විට රත්තරන් සොයා ගැනීම අපහසු වුණා. නමුත් එහිදී වෙනත් ආකාරයක අවස්ථාවක් මතු වුණා. පතල් කම්කරුවන්ට අවශ්‍ය කරන මෙවලම්, ආහාර, ඇඳුම් පැළඳුම් සහ සේවාවන් සැපයූ පුද්ගලයන් බොහෝ විට කම්කරුවන්ට වඩා මුදල් ඉපයුවා. සැබෑ ධනය සැමවිටම පොළොව යට තිබුණේ නැහැ, ඒ ධනය තිබුණේ මේ සම්පත වටා ගොඩනැගුණු ආර්ථිකය තුළ.

මෙම සිදුවීම නගරයක් නිර්මාණය කිරීමට වඩා එහා ගිය දෙයක් සිදු කළා. එය ඇමරිකා එක්සත් ජනපදය බටහිර දෙසට ව්‍යාප්ත වීම වේගවත් කළා. ලොව පුරා සිටින මිනිසුන් එකට එක් කරමින්, වෙළඳ ජාල සහ කර්මාන්ත ගොඩනගමින් සැන් ෆ්රැන්සිස්කෝ නගරය ප්‍රධාන ආර්ථික සහ සංස්කෘතික මධ්‍යස්ථානයක් බවට පත් වුණා.

අද වන විට සැන් ෆ්රැන්සිස්කෝව එහි තාක්ෂණය, සංස්කෘතිය සහ සුප්‍රසිද්ධ ස්මාරක සඳහා ප්‍රසිද්ධයි. නමුත් එහි පදනම වැටුණේ සරල දෙයකින්, එකම එක සොයා ගැනීමකින්, මිනිසුන්ගේ පැමිණීමෙන්. දෛවය වෙනස් කරගත හැකිය යන පොදු විශ්වාසයෙන්. මේ සියල්ල ආරම්භ වුණේ ගංගාවක තිබුණු රන් කැබලි කිහිපයකින්.

මිනිසුන්ගේ සංක්‍රමණය, අභිලාෂය සහ අවස්ථාවන් ලෝකය කෙතරම් ඉක්මනින් වෙනස් කළ හැකිද යන්න මෙම සිද්ධියෙන් පෙනී යනවා. නිහඬ භූමියක් ලෝක මට්ටමේ ගමනාන්තයක් වුණා. කුඩා ජනාවාසයක් මහා නගරයක් වුණා. ඉතිහාසය වෙනස් වුණේ ඇත්තටම එක රැයකින් වගෙයි.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account