Back to articles
Icons & Innovators3 Sept 2026 · 3 min read

ජීවයේ රහස් සෙවූ මහා ගවේෂකයා

EdSpero teaching desk
Sinhala and English medium

ජීවයේ රහස් සෙවූ මහා ගවේෂකයා

1809 දී එංගලන්තයේ උපන් චාල්ස් ඩාවින්, තමන්ගේ පවුලේ අය බලාපොරොත්තු වුණු "දක්ෂ දරුවා" වුණේ නැහැ. එයාගේ තාත්තා ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්. තාත්තාට ඕන වුණේ චාල්ස්වත් දොස්තර කෙනෙක් කරන්න. ඒත් වෛද්‍ය විද්‍යාලයේදී ලේ දකිද්දී ඩාවින්ට ක්ලාන්තය හැදුණා. ඔහු දේශනවලට වඩා කැමති වුණේ එළිමහනේ ඇවිදිමින් කෘමීන් සහ පාෂාණ එකතු කරන්නයි.

දවසක් ඔහු දුර්ලභ කුරුමිණියන් දෙන්නෙක් අත් දෙකට අරන් ඉද්දී, තුන්වැනි වර්ගයක කුරුමිණියෙක් දැකලා, ඌවත් අල්ලගන්න ඕන නිසා එක කුරුමිණියෙක්ව තමන්ගේ කටේ දාගත්තා! අන්න ඒ වගේ උමතුවක් ඩාවින්ට සොබාදහම ගැන තිබුණා. අන්තිමේදී වෛද්‍ය විද්‍යාව අතහැරපු ඩාවින්ව තාත්තා යැව්වේ පල්ලියේ පූජකයෙක් වෙන්න ඉගෙන ගන්නයි. හැබැයි එතනදීත් එයා කළේ ගුරුවරුන් එක්ක එකතු වෙලා උද්භිද විද්‍යාව ඉගෙන ගත්තු එකයි.

වයස 22 දී ඩාවින්ට අහම්බෙන් අවස්ථාවක් ලැබුණා HMS Beagle නැවේ ස්වභාව විද්‍යාඥයා විදිහට ලෝකය වටා යන්න. 1831 දී පටන් ගත්තු මේ ගමන අවුරුදු 5ක් තිස්සේ දකුණු ඇමරිකාව, අප්‍රිකාව සහ ඕස්ට්‍රේලියාව පුරා විහිදුණා.

මේ ගමනේදී ඩාවින් නිකන්ම සතුන් දෙස බලලා හිටියේ නැහැ. ඔහු හැම තැනකදීම ප්‍රශ්න ඇහුවා.එකම වර්ගයේ සත්තු එක එක දූපත්වලදී වෙනස් වෙන්නේ ඇයි කියන එක ඩාවින්ට ගැටලුවක් වුණා. එයා අශ්වයන් ලක්ෂ ගණනින් දුවන තැනිතලා වල ඉඳන්, භූමිකම්පා වලින් පොළොව ඉරී යන හැටි දක්වා හැමදේම තමන්ගේ දිනපොතේ සටහන් කරගත්තා.

ඩාවින්ගේ ගවේෂණයේ වැදගත්ම නැවතුම වුණේ පැසිෆික් සාගරයේ තියෙන ගලාපගෝස් දූපත් සමූහයයි. එහේදී ඔහු "ෆින්ච්" (Finches) කියන කුරුල්ලන් වර්ගය ගැන පුදුම සහගත දෙයක් නිරීක්ෂණය කළා. එකම දූපත් සමූහයක වුණත්, එක එක දූපතේ ඉන්න කුරුල්ලන්ගේ හොටේ හැඩය එකිනෙකට වෙනස් වුණා.

ඩාවින් තේරුම් ගත්තා මේ හැමෝම ඉස්සර හිටපු එකම කුරුළු විශේෂයකින් පැවත එන බවත්, ආහාර සොයාගැනීමේ පහසුව මත පරම්පරා ගණනාවක් තිස්සේ ඔවුන්ගේ හොටවල් වෙනස් වී ඇති බවත්. මේක එයා හැඳින්වූයේ "ස්වාභාවික වරණය" (Natural Selection) කියලායි. ඒ කියන්නේ පරිසරයට හොඳටම හැඩගැහෙන (Adapt) සත්වයා පමණක් ඉතිරි වී අනෙක් අය වඳ වී යාමයි.

තමන්ගේ ගවේෂණයෙන් අවුරුදු 20කට පස්සේ, 1859 දී ඩාවින් "On the Origin of Species" නමැති ලෝක ප්‍රසිද්ධ වුණ පොත ප්‍රකාශයට පත් කළා. එහි එයා ඉදිරිපත් කළේ මිනිසා ඇතුළු සියලුම ජීවීන් ඉතා සරල ජීවියෙකුගෙන් පටන් ගෙන මිලියන ගණනක් තිස්සේ වෙනස් වෙමින් පැමිණි බවයි.

මේ අදහස ඒ කාලේ තිබුණු ආගමික මතවාද එක්ක ලොකු ගැටුමක් ඇති කළා. සමහරු ඩාවින්ව විහිළුවට ලක් කරමින් වඳුරෙකුගේ ඇඟට ඩාවින්ගේ හිස යොදා කාටූන් පවා ඇන්දා. ඒත් ඩාවින් සැලුණේ නැහැ. එයා ළඟ තමන්ගේ මතය ඔප්පු කරන්න අවශ්‍ය තරම් විද්‍යාත්මක සාක්ෂි තිබුණා.

ඩාවින් 1882 දී මිය යන විට, එයා ජීව විද්‍යාව කියන විෂය සම්පූර්ණයෙන්ම අලුත් මාවතකට යොමු කරලා තිබුණා. ඩාවින් ලෝකයට පෙන්නුවේ අපි හැමෝම එකම පවුලක, එකම රුධිරයකින් සහ ජානවලින් බැඳුණු සහෝදරයන් පිරිසක් බවයි.

අදටත් අපි ජාන විද්‍යාව (Genetics) හෝ වෛද්‍ය විද්‍යාව ගැන ඉගෙන ගද්දී ඩාවින්ගේ මේ "පරිණාමවාදය" නැතුව පියවරක්වත් ඉදිරියට තියන්න බැහැ. එයා අපිට දුන්න ලොකුම පාඩම වුණේ ජීවත් වෙන්නේ ශක්තිමත්ම සත්වයා හෝ බුද්ධිමත්ම සත්වයා නෙවෙයි, වෙනස් වන පරිසරයට හොඳටම හැඩගැහෙන්න පුළුවන් සත්වයා යන්නයි

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account