Back to articles
History & Heritage3 Sept 2026 · 4 min read

Chernobyl disaster

EdSpero teaching desk
Sinhala and English medium

1986 අප්‍රේල් 26 වෙනිදා රෑ, ප්‍රිප්යට් නගරයම තද නින්දක හිටියේ. ප්‍රිප්යට් කියන්නේ වර්ථමානායේ යුක්‍රේනය සහ බෙලරුසියාව මායිමට ආසන්න නගරයක්. මේ නගරයට කිලෝමීටර් කිහිපයක් එහායින් තිබුණු චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරයේ ඉංජිනේරුවන් සාමාන්‍ය පරීක්ෂණයකට ලෑස්ති වෙන ගමන් හිටියේ.

කවුරුත් හිතුවේ නැහැ මේක ඉතිහාසයේ දරුණුම න්‍යෂ්ටික අනතුර වෙයි කියලා. මේ පරීක්ෂණයේ ප්‍රධාන අරමුණ වුණේ බලාගාරය හදිසියේ නතර වුණොත්, ඒකේ තියෙන ටර්බයින්වලින් හදිසි විදුලියක් ලබාගන්න පුළුවන්ද කියලා බලන එක. පරීක්ෂණය පටන් ගත්ත ගමන්ම රියැක්ටරය සිසිල් කරන්න යොදන වතුර ප්‍රමාණය අඩු කළා. ඒ නිසා රියැක්ටරය ඇතුළේ හුමාල බුබුළු ඇති වෙන්න පටන් ගත්ත. මේ රියැක්ටරයේ තිබුණු "Positive void coefficient" කියන තාක්ෂණික ලක්ෂණය නිසා, හුමාලය වැඩි වෙද්දී රියැක්ටරයේ ක්‍රියාකාරීත්වය එකපාරටම ඉහළ ගියා.

පාන්දර 1:23 ට, තත්ත්වය පාලනය කරගන්න බැරි තැන ක්‍රියාකරුවන් "AZ-5" කියන හදිසි නැවතුම් බොත්තම එබුවා.

විද්‍යාත්මකව බැලුවොත් මේකෙන් වෙන්න ඕනේ රියැක්ටරය වහාම නතර වෙන එක. හැබැයි වුණේ ඒකේ අනිත් පැත්ත ඒ කියන්නේ රියැක්ටරය තවත් වේගයෙන් ක්‍රියාත්මක වෙන්න පටන් ගත්තා.

ඒකට හේතුව ර්‍RMBK රියැක්ටරවල පාලක දඬුවල අගට ග්‍රැෆයිට් සවි කරලා තිබීම. මේ දඬු ඇතුළට දානකොට, විකිරණ අවශෝෂණය කරන කොටස ක්‍රියාත්මක වෙන්න කලින්, අග තිබුණු ග්‍රැෆයිට් නිසා තත්පර කිහිපයකට රියැක්ටරයේ බලය දරුණු විදිහට වැඩි වුණා. ඒ සුළු තත්පර කිහිපය ඇතුළත, රියැක්ටරයේ බලය සාමාන්‍ය මට්ටමට වඩා 100 ගුණයකටත් වඩා වැඩි වෙන්න ගත්තා

වැඩි වුණු තාපය නිසා ඉන්ධන දඬු පිපිරී යාමත් එක්කම ඇතුළේ තිබුණු වතුර එකපාරටම අධික පීඩනයකින් යුත් හුමාලය බවට පත් වුණ.

අන්තිමේදී මහා හුමාල පිපිරීමක් එක්ක රියැක්ටරයේ හරය (Core) විනාශ වෙලා ගියා. ඒ එක්කම වුණු දෙවැනි පිපිරීමෙන් විකිරණශීලී ග්‍රැෆයිට් සහ ඉන්ධන කෑලි වායුගෝලයට විසි වුණා. රියැක්ටරය ඇතුළත තිබුණු භයානක ද්‍රව්‍ය කෙලින්ම අහසට විවෘත වුණේ අන්න එහෙම.

මුලින්ම එතනට ආවේ ගිනි නිවන භටයෝ.

එයාලා රියැක්ටරයේ වහල උඩට නැග්ගා. තමන් වටේ විසිරිලා තියෙන ඒ කළු පාට කෑලි මාරාන්තික විකිරණ පිට කරන ග්‍රැෆයිට් කෑලි කියලා ඒ මිනිස්සු දැනගෙන හිටියේ නැහැ. මොකද එයාලට එහෙම අත්දැකීමක් තිබුනේ නෑ. එයාලා ඒවා අල්ලලා පයින් ගැහුවා. පැය කිහිපයක් යද්දී මේ අයට මාරාන්තික විකිරණ අවශෝෂණය උනා . තමන් මුහුණ දෙන්නේ මොන වගේ අනතුරකටද කියලා කවුරුත් එයාලට ඇත්ත කිව්වේත් නැහැ.

ඊළඟ දවසේ උදේ ප්‍රිප්යට් නගරය සාමාන්‍ය විදිහටම තිබුණා. ළමයි ඉස්කෝලේ ගියා. අම්මලා ළමයිවත් අරන් ඇවිදින්න ගියා. තමන්ගේ ඇඳුම් වලට, හුස්ම ගන්න වාතයට මේ අදෘශ්‍යමාන විකිරණ මිශ්‍ර වෙනවා කියලා නොදැන, නගර වැසියන් බැල්කනිවල ඉඳන් ඈතින් පෙනෙන ගින්න දිහා බලාගෙන හිටියා.

පැය 36කට පස්සේ තමයි නගරය හිස් කරන්න නියෝග ලැබුණේ.

ඒකත් කිවුවේ "මේක තාවකාලික එකක්" කියලා. ඒත් ඒ ගිය කිසිම කෙනෙක් ආයේ කවදාවත් තමන්ගේ ගෙවල්වලට ආවේ නැහැ. කෑම මේස උඩ තිබුණු විදිහටම, සෙල්ලම් බඩු ඇඳන් උඩ, ඉස්කෝලවල පොත්පත් එහෙමම ඉතිරි වුණා. ප්‍රිප්යට් නගරය කාලය නතර වුණු නගරයක් බවට පත් වුණා.

මේ විනාශය පාලනය කරන්න ලක්ෂ ගාණක පිරිසක් එතනට එව්වා.

සොල්දාදුවන්, පතල් කම්කරුවන්, ඉංජිනේරුවන්—මේ හැමෝවම හැඳින්වූයේ "ලික්විඩේටර්ස්" (Liquidators) කියලා. සමහරු අතින්ම ඒ විකිරණශීලී කුණු අයින් කළා. තවත් අය විනාශ වුණු රියැක්ටරය වටේ කොන්ක්‍රීට් ආවරණයක් හැදුවා. මේ හැමෝගෙම වගේ සෞඛ්‍ය තත්වයට බරපතල විදියට හානි උනා. හුඟාක් අය ජීවිත වලින් වන්දි ගෙවුව. විකිරණ කියන්නේ එහෙම ලේසි සෙල්ලමක් නෙමේ.

විකිරණ යුරෝපය පුරා පැතිරුණා. වනාන්තර රතු පාට වුණා. මිනිස්සුන්ට ඉන්න බැරි ප්‍රදේශ නිර්මාණය වුණා. පිළිකා රෝගීන් වැඩි වුණා. න්‍යෂ්ටික බලශක්තිය ගැන තිබුණු විශ්වාසය එක රැයකින් නැති වෙලා ගියා.

චර්නොබිල් කියන්නේ නිකන්ම අහම්බෙන් වුණු අනතුරක් නෙවෙයි.

ඒක රහස් සැඟවීම්වල, අනතුරු ඇඟවීම් නොසලකා හැරීම්වල කතාවක්. ඇත්ත කියන මිනිස්සුන්ට දඬුවම් කරන, වැරදි වහගන්න උත්සාහ කරන පද්ධතියක අවසානය ඒකයි. මිනිස්සු ගන්න වැරදි තීරණ නිසා ලෝකයක්ම අනතුරේ වැටෙන හැටි ඒකෙන් පෙනුණා.

අද ඒ ප්‍රදේශය නිහඬයි. ගස් කොළන් වැවිලා, සත්තු නිදහසේ ඉන්නවා. ඒත් ඒ නිහඬතාවය ඇතුළේ අදටත් විකිරණවල සද්දය ඇහෙනවා. ඒක අපිට පාඩමක් කියා දෙනවා:

වගකීමක් නැති දියුණුව භයානකයි. පාරදෘශ්‍යභාවයක් නැති බලය මාරාන්තිකයි. සමහර වැරදි පරම්පරා ගාණක් යනකල් දෝංකාර දෙනවා.

චර්නොබිල් 1986 දී ඉවර වුණේ නැහැ. ඒක විද්‍යාව ඇතුළේ, ප්‍රතිපත්ති ඇතුළේ සහ අපේ මතකය ඇතුළේ අදටත් ජීවත් වෙනවා. මෙවැනි විනාශයක් ආයෙත් කවදාවත් නොවෙන්න ඕනේ කියන පොරොන්දුව ඒ මතකය අපිට මතක් කරලා දෙනවා.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account