Lee Kuan Yew

1965 අගෝස්තු 9 වැනිදා, එවකට සිංගප්පූරුවේ අගමැති වුණ ලී ක්වාන් යූ ජාතික රූපවාහිනිය ඔස්සේ පෙනී සිටියේ ඉතාමත් කනගාටුදායක පුවතක් ප්රකාශ කරන්නයි. එනම් ඔහුගේ දේශය මැලේසියාවෙන් නෙරපා හැර ඇති බවයි. ඔහු කතා කරන අතරතුර ඔහුගේ හඬ වෙව්ලන්නට වුණා. ඔහුට දිගටම කතා කර ගත නොහැකිව මොහොතක් නතර වුණා. අවසානයේ ඔහු හඬා වැටුණා.
ඒ මොහොතේ සිංගප්පූරුව කියන්නේ "මුඩුක්කු වලින් පිරුණු, "කඩා වැටීමට ආසන්න අසාර්ථක රාජ්යයක්". එය වගා බිම්, තෙල් හෝ ඛනිජ සම්පත් කිසිවක් නැති කුඩා දූපතක්. ඔවුන් මුහුණ පෑ අර්බුධය කෙතරම් දරුණුද යත්, සිංගප්පූරුවේ ජල අවශ්යතාවයෙන් අඩක්ම ලැබුණේ මැලේසියාවෙන්. එමෙන්ම ඔවුන්ගේ ආහාර වලින් 90%ක්ම ආනයනය කළේ තමන්ව නෙරපා දැමූ ඒ මැලේසියාව හරහායි. ජනගහනයෙන් 75%ක් ජීවත් වුණේ වැසිකිළි හෝ නළ ජලය පවා නැති පැල්පත් සහ තාවකාලික නිවාසවලයි. දරුණු ජාතිවාදී කෝලාහල නිසා මළසිරුරු පාරවල් අයිනේ තිබුණා. ඒ වගේම ඒ වෙනකොට සිංගප්පූරුවට හමුදාවකුත් තිබුණේ නැහැ.
නමුත්, ඒ විනාශකාරී දිනයේ ලී ක්වාන් යූ යමක් වටහා ගත්තා. සිංගප්පූරුවට සම්පත් නැති වුවත්, එහි සිටින "මිනිසුන්" යනු සම්පතක් බව ඔහු තේරුම් ගත්තා. ඒ වැගිරුණු කඳුළු අවසානයක් නෙවෙයි, ඉතිහාසයේ විශිෂ්ටතම නැගී සිටීමක ආරම්භයයි.
සිංගප්පූරුවේ ආර්ථිකය කඩා වැටෙන්න ආසන්න, ඉතාම දුර්වල එකක් වුණා. මේ අවස්ථාවේදී, ලී ඕලන්ද ජාතික ආර්ථික විද්යාඥ ඇල්බට් වින්සෙමියස්ගේ උපදෙස් පැතුවා. ඔහු දුන් උපදේශය ඉතා සෘජු එකක් වුණා.
"මතවාද අමතක කරන්න. ජාතිකවාදය අමතක කරන්න. ඔබට සිංගප්පූරුව සාර්ථක කර ගැනීමට අවශ්ය නම්, විදේශීය සමාගම්වලට සිංගප්පූරුව නැතිවම බැරි තැනක් බවට පත් කරන්න."
වින්සෙමියස් පැහැදිලි උපාය මාර්ගයක් ඉදිරිපත් කළා. බදු අඩු මට්ටමක තබා ගැනීම, දූෂණයට එරෙහිව දැඩිව සටන් කිරීම, සහ මුළු දූපතම සම්පූර්ණයෙන්ම පිරිසිදු කිරීම කියන යෝජනා ඔහු ඉදිරිපත් කළ . ලී මෙම උපදෙස් අකුරටම අනුගමනය කළා. රට පිරිසිදු කිරීම කියන්නේ නිකම්ම ලස්සනට තිබීම විතරක් නෙවෙයි. එය ලෝකයට පණිවිඩයක් දීමට ගත් ආර්ථික උපාය මාර්ගයක්.
සිංගප්පූරුව තවදුරටත් මුඩුක්කුවක් නොව, විනයක් සහ පාලනයක් ඇති තැනක් බව පෙන්වීමට ලී "උද්යාන නගරය" (Garden City) වැඩසටහන ආරම්භ කරමින් ගස් සිටුවීම සහ ගංගා පිරිසිදු කිරීම සිදු කළා.
එහි ප්රතිඵල ක්ෂණික වුණා. බ්රිතාන්යයන් අතහැර දැමූ වරාය අංගන නැව් තටාක බවට පත් වුණා. ඔහු සිංගප්පූරු ගුවන් සේවය (Singapore Airlines) නිර්මාණය කිරීමට සම්පත් යෙදෙව්වා. Texas Instrum, General Electric වැනි ඇමරිකානු සහ ජපන් දැවැන්තයින්ගෙන් විදේශ ප්රාග්ධනය ගලා ආවා. මුළු අධ්යාපන ක්රමයම මෙම නව කර්මාන්ත වලට අවශ්ය ඉංජිනේරුවන් සහ තාක්ෂණික ශිල්පීන් බිහි කිරීමට අනුව සකස් කළා.
සිංගප්පූරුවේ නිවාස අර්බුදය විසඳීමට සහ ජාතික ධනය ගොඩනැගීමට ලී සහනාධාර හෝ නොමිලේ දෙන සුබසාධන ප්රතික්ෂේප කළා. ඔහුගේ දර්ශනය වුණේ "සෑම පුරවැසියෙකුම තමන්ගේම දෙපයින් සිටගත යුතුයි." යන්නයි. ජනතාවට රටේ සාර්ථකත්වය කෙරෙහි සෘජු කොටස්කාරිත්වයක් ලබා දීමෙන් පමණක් රට දියුණු කළ හැකි බව ඔහු විශ්වාස කළා.
ඔහු නිවාස සංවර්ධන මණ්ඩලය (HDB) බලගන්වා, ලක්ෂ සංඛ්යාත ජනතාවක් මුඩුක්කු වල සිට විදුලිය සහ නළ ජලය සහිත නවීන කොන්ක්රීට් මහල් නිවාස වෙත පදිංචි කළා. නමුත් ඔහු මෙයට මුදල් සොයා ගත්තේ කොහොමද? ඔහු මධ්යම අර්ථසාධක අරමුදල (CPF) නිර්මාණය කළා. ඒ හරහා සෑම සේවකයෙකුටම තමන්ගේ වැටුපෙන් 20%ක් පමණ රජය කළමනාකරණය කරන අරමුදලක තැන්පත් කිරීමට බල කළා.
නිල වශයෙන් CPF යනු විශ්රාම වැටුප් අරමුදලක්. නමුත් ඇත්ත වශයෙන්ම එය සිංගප්පූරුවේ නිවාස සහ යටිතල පහසුකම් සඳහා මුදල් සැපයූ "යෝධ ජාතික ප්රාග්ධන සංචිතයක්" වුණා. තමන්ගේම අනිවාර්ය ඉතිරි කිරීම් භාවිතා කර නිවාස මිලදී ගැනීම හරහා පුරවැසියන් රජයෙන් යැපෙන්නන් නොව, රටේ හිමිකරුවන් බවට පත් වුණා. දැන් සෑම පවුලකටම රටේ ස්ථාවරත්වය සමඟ බැඳුණු වත්කමක් තිබුණා.
බ්රිතාන්ය හමුදාව ඉවත් වීමත් සමඟ සිංගප්පූරුව අනාරක්ෂිත වුණා. ලී රහසිගතව ඊශ්රායලය වෙත හැරුණා. ඒ තවත් සතුරන්ගෙන් වටවුණු කුඩා රටක් නිසා. ඔවුන්ගේ උදව් ඇතිව සිංගප්පූරු සන්නද්ධ හමුදාව මුල සිටම ගොඩනැගුවා. 1971 වන විට 16,000ක විනයගරුක හමුදාවක් සූදානම්ව සිටියා.
ඔහුගේ දැඩි, විනය ගරුක පාලනය සිංගප්පූරු ජීවිතයේ සෑම අංශයකටම ව්යාප්ත වුණා.
පිරිසිදුකම සහ සමාජ විනය මේ පාලනයේ මූලික අංගයක් වුණා.මත්ද්රව්ය ජාවාරම්කරුවන් එල්ලා මැරුවා. පාරේ කෙළ ගැසීම හෝ කුණු දැමීම සඳහා ඩොලර් දහස් ගණනින් දඩ ගැසුවා.
දේශපාලනයේදීත් මේ පාලනය එලෙසම දැඩි වුණා. විරුද්ධවාදීන්ට එරෙහිව නඩු පවරා ඔවුන්ව නඩු විභාගයකින් තොරව රඳවා ගත්තා. පුවත්පත් වාරණය කළා. දූෂණය සැලකුණේ ජාතික තර්ජනයක් ලෙසයි. ඔහුගේම රජයේ ජාතික සංවර්ධන අමාත්යවරයෙකු වූ තේ චියැන්ග් වෝන් අල්ලස් ගනිමින් සිටියදී හසු වූ විට, ලී කිසිදු අනුකම්පාවක් පෙන්වූයේ නැහැ. නඩු විභාගයට පෙර අමාත්යවරයා සියදිවි නසා ගත්තා. ලී ගේ ප්රතිචාරය වුණේ ඉතා රළු එකක්: "ඔහු වැරැද්දක් කර තිබෙනවා. ඔහු අල්ලස් ගෙන තිබෙනවා. මට ඔහුව බේරා ගත නොහැකියි."
ඔහු සමාජය ඉහළ සිට පහළට හැඩගැස්වූ අතර, සිය අත්තනෝමතික ක්රමවේදයන් රටේ පැවැත්ම සහ සමෘද්ධිය සඳහා අත්යවශ්ය බව පවසමින් ඒවා සාධාරණීකරණය කළා. "මම නිතරම මිනිසුන්ගේ පෞද්ගලික ජීවිතයට ඇඟිලි ගසන බවට චෝදනා ලැබුවා. ඔව්, මම එහෙම නොකළා නම් අද අපි මෙතන නැහැ."
ඔහු සම්පත් නැති, අසාර්ථක වරායක් ලෝක බලවතෙකු බවට පත් කළා. 2025 වන විට එහි ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය (GDP per capita) ඩොලර් 90,000 දක්වා ළඟා වූ අතර එය ඇමරිකා එක්සත් ජනපදයටත් (85,000) වඩා වැඩියි. එහි සිසුන් ගණිතය, විද්යාව සහ කියවීම වැනි ගෝලීය දර්ශක වල ඉහළින්ම සිටිනවා.
නමුත් මෙම සාර්ථකත්වය ගොඩනැඟුණේ දැඩි පාලනයක් යටතේයි. ලී ක්වාන් යූ ගේ අවමංගල්ය උත්සවයේදී, තමන්ට බලාපොරොත්තුවක් දුන් ඒ "ආඥාදායකයාට" සමුදීමට මිලියන දෙකකට ආසන්න සිංගප්පූරු වැසියන් වැස්සේ පෝලිම් ගැසී සිටියා.
Everything here is free
No subscription, no paywall. A free account only saves what you have read.
Create a free account