Back to articles
Icons & Innovators3 Sept 2026 · 3 min read

හිරගෙදරින් ජනාධිපති පුටුවට ගිය මැන්ඩෙලා

EdSpero teaching desk
Sinhala and English medium

අවුරුදු 27ක් තිස්සේ ඔහු හිටියේ හිරකූඩුවක. ලෝකයෙන් හුදකලා වෙලා. පවුලෙන් වෙන් වෙලා. හැම වෙලාවෙම පාලනයට සහ නිරීක්ෂණයට යටත් වෙලා. සාමාන්‍යයෙන් කෙනෙක්ව මෙහෙම අවුරුදු ගානක් හිර කරලා තිබ්බම ලෝකයට ඔහුව අමතක වෙනවා. හැබැයි නෙල්සන් මැන්ඩෙලා කියන්නේ ඊට වඩා වෙනස් කෙනෙක්.

ඒ කාලේ දකුණු අප්‍රිකාවේ "වර්ණභේදවාදය" (ඇපර්තේඩ්) කියලා පද්ධතියක් තිබුණා. ඒකෙන් මිනිස්සුන්ව ජාතිය අනුව වෙන් කළා.

ඔබට ජීවත් වෙන්න පුළුවන් කොහේද?

වැඩ කරන්න පුළුවන් කොහේද?

ඔබට තියෙන අයිතිවාසිකම් මොනවාද?

මේ හැමදේම තීරණය කළේ ජාතිය මත. බහුතරයක් ජනතාවට තමන්ගේ ජීවිතය ගැන කිසිම නිදහසක් තිබුණේ නැහැ. මැන්ඩෙලා විශ්වාස කළා මේ ක්‍රමය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි කියලා.

තරුණ නීතිඥයෙක් විදිහට මැන්ඩෙලා මේ වර්ණභේදවාදයට එරෙහිව සටන් කරන්න පටන් ගත්තා. ඔහු ඒ ගැන කතා කළා, විරෝධතා සංවිධානය කළා, හැමෝටම සමාන අයිතිවාසිකම් ඉල්ලුවා. හැබැයි එදා තිබුණු රජය ඔහුව දැක්කේ තර්ජනයක් විදිහට. ඒ නිසා 1962 දී ඔහුව අත්අඩංගුවට ගත්තා. අවුරුදු දෙකකට පස්සේ ඔහුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වුණා.

මැන්ඩෙලාව යැව්වේ "රොබින් අයිලන්ඩ්" කියන හුදකලා දූපතේ තිබුණු හිරගෙදරට. එහේ ජීවිතය හරිම අමාරුයි. දශක ගණනාවක් ගත වුණා. ලෝකය වෙනස් වුණත්, මැන්ඩෙලා හිරකාරයෙක් විදියටම හිර වෙලා ජීවිතය ගෙවුවා.

මේ අතරේ හිරගෙදරින් පිටත ලෝකයේ ලොකු දෙයක් සිද්ධ වෙමින් තිබුණා. ලෝකය පුරාම මිනිස්සු මැන්ඩෙලාව නිදහස් කරන්න කියලා බල කරන්න පටන් ගත්තා. විරෝධතා වැඩි වුණා. රජයට එල්ල වුණු බලපෑම වැඩි වුණා වගේම ඔහුගේ නම "අරගලයේ සංකේතයක්" බවට පත් වුණා.

ඒ අනුව මැන්ඩෙලා සිරකරුවෙක් විතරක් නෙවෙයි, නිදහස වෙනුවෙන් හඬ නගන ගෝලීය හඬක් බවට පත් වුණා.

අන්තිමේදී 1990 වසරේදී, අවුරුදු 27කට පස්සේ මැන්ඩෙලා නිදහස ලැබුවා. ඔහු හිරගෙදරින් එළියට එන දර්ශනය ලෝකයේ මිලියන ගාණක් මිනිස්සු බලාගෙන හිටියා. ඔහුට ඕන නම් වෛරයෙන් සහ තරහින් එළියට එන්න තිබුණා. හැබැයි ඔහු එහෙම කළේ නැහැ. ඒ වෙනුවට ඔහු කතා කළේ සාමය ගැන.

ඊට අවුරුදු හතරකට පස්සේ 1994 දී දකුණු අප්‍රිකාවේ පළමු වතාවට ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණයක් පැවැත්වුණා. හැම ජාතියකම මිනිස්සු එකට එකතු වෙලා ඡන්දය පාවිච්චි කළා. එදා නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ජනාධිපති විදිහට තේරී පත්වුණා. හිරකූඩුවක ඉඳන් රටේ ඉහළම තනතුර දක්වා තමන්ගේ ගමන වෙනස් උනා.

මැන්ඩෙලා කවදාවත් පළිගන්න හැදුවේ නැහැ. ඔහුගේ අවධානය යොමු වුණේ සමානාත්මනවය වගේම සියලු දෙනා ඒකරාශී කිරීමට.

ඔහු පෙන්නලා දුන්නා නායකත්වය කියන්නේ බලය නෙවෙයි, යහපත් අරමුණක් කියලා.

මැන්ඩෙලාගේ ගමන හුදෙක් දේශපාලනය ගැන විතරක් නෙවෙයි. ඒකෙන් කියවෙන්නේ නොසැලෙන ශක්තිය ගැන. තමන් විශ්වාස කරන දේ වෙනුවෙන්, තමන්ගේ මුළු ජීවිතයම වුණත් කැප කරන එක ගැන.

අවුරුදු 27ක සිර දඬුවමකින් ඔහුගේ කතාව අවසන් වෙන්න තිබුණා. හැබැයි ලෝකය ඔහුට ඇහුම්කන් දුන්නේ ඒ කැපවීම නිසා. කාලයක් ඔහුට තමන්ගේ නිදහස නැති වුණා. නමුත් ඒ හරහා ඔහු ප්‍රාර්ථනා කරපු ලස්සන ලෝකයට පාරක් කැපුනා.

සිරකරුවෙක්. සංකේතයක්. ජනාධිපතිවරයෙක්.

නෙල්සන් මැන්ඩෙලාගේ කතාව අපිට මතක් කරන්නේ එක දෙයයි.

සමහර වෙලාවට ශක්තිමත්ම නායකයෝ බිහි වෙන්නේ, අමාරුම ගමන් මගවල් පසු කරලා ආපු අයගෙන්.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account