Back to articles
Icons & Innovators3 Sept 2026 · 4 min read

අපේ ලෝකය වෙනස් කල අසමසම බුද්ධිමතා

EdSpero teaching desk
Sinhala and English medium

අද කාලේ Nikola Tesla කිව්වම අපිට මතක් වෙන්නේ අලුත් සොයාගැනීම්, විදුලිය සහ අනාගතවාදී අදහස් වගේ දේවල් ගැන.

හැබැයි 1943 දී ඔහු මියයන කොට, ඔහු හිටියේ නිව්යෝර්ක් නුවර කුඩා හෝටල් කාමරයක තනියම, හැමෝටම වගේ අමතක උන චරිතයක් විදියට. මුදල් නැති, ලොකු සමාගම් නැති, ප්‍රසිද්ධියක් නැති කෙනෙක් විදියට තමයි ඔහු මියගියේ.

ටෙස්ලා උපන්නේ 1856 දී, දැන් ක්‍රොඒෂියාව අයිති ප්‍රදේශයේදී. පොඩි කාලේ ඉඳන්ම ඔහුට තිබුනේ පුදුමාකාර හැකියාවක්. ගණිතය, තාක්ෂණය, කාර්මික දේවල් සම්බන්ධයෙන් ඔහු දක්ෂතාවයන් දැක්වූව. ඒ අතරෙම ඔහු විදුලිය සහ ඒ ආශ්‍රිත එලෙක්ට්‍රොනික දේවල් සම්බන්ධව සෑහෙන උනන්දුවක්ද දැක්වූවා.

ටෙස්ලා ඇමරිකාවට යනකොට ඔහුගේ අතේ සතයක්වත් තිබුණේ නැහැ. ඇමරිකාවේදී ඔහුට ප්‍රසිද්ධ නව නිපැයුම්කරුවෙක් වන Thomas Edison එක්ක වැඩ කරන්න ලැබුණා. හැබැයි මේ දෙන්නගේ අදහස් එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. එඩිසන් උත්සාහ කළේ Direct Current (DC) කියන ක්‍රමය පාවිච්චි කරන්න. හැබැයි ටෙස්ලා විශ්වාස කළේ Alternate Current (AC) කියන ප්‍රත්‍යාවර්ත විදුලි ධාරා ක්‍රමය ගැන. මොකද ඒකෙන් විදුලිය ගොඩක් ඈතට, කාර්යක්ෂමව යවන්න පුළුවන් වුණා.

මේ මතභේදය ඉතිහාසයේ ලොකුම තාක්ෂණික සටනක් බවට පත්වුණා. එඩිසන් ප්‍රසිද්ධියේම ටෙස්ලා භාවිතා කල AC විවේචනය කළා. හැබැයි ටෙස්ලා තමන්ගේ වැඩේ අතහැරියේ නැහැ. අන්තිමේදී ටෙස්ලා භාවිතා කල AC ක්‍රමය තමයි වඩාත්ම ප්‍රායෝගික සහ කාර්යක්ෂම ක්‍රමය කියලා ඔප්පු වුණා. අද මුළු ලෝකෙම විදුලි පද්ධති වැඩ කරන්නේ ටෙස්ලාගේ ඒ අදහසට අනුව.

තමන් ජීවත් වුණු කාලයට වඩා ඉදිරියෙන් සිටි මිනිසෙක් විදියට හඳුන්වන්න පුළුවන්. ටෙස්ලාගේ සිතුවිලි විදුලියට විතරක් සීමා වුණේ නැහැ. ඔහු ඒ කාලෙදීම අනාගතය දැක්කා. රැහැන් රහිත සන්නිවේදනය (Wireless communication), දුරස්ථ පාලක තාක්ෂණය (ර්‍Remote control) වගේ දේවල් ඔහු සිතුවේ දැනට සියවසකට එහා අතීතයකදී.

ඔහු ජීවත් වුණු කාලයේ හැටියට මේ සමහර අදහස් මිනිස්සුන්ට විහිළුවක් වගේ පෙනුණා. ගොඩක් අයට ඔහු කරන්න හදන්නේ මොකක්ද කියලාවත් තේරුම් ගන්නවත් බැරි වුණා.ටෙස්ලාට යම් කාලෙකදී ප්‍රසිද්ධියක් ලැබුණත්, සල්ලි අතින් ඔහු ගොඩක් අමාරුවෙන් ජීවත් වුණේ. මොකද ඔහු උත්සාහ කළේ බිස්නස් කරන්න නෙවෙයි, අලුත් දේවල් හොයාගන්න විතරයි. ඔහුගේ ව්‍යාපෘති ඕනෑවට වඩා විශාල නිසා ආයෝජකයෝ ඔහුට සල්ලි දෙන එක නතර කළා. කාලයත් එක්ක ප්‍රතිපාදන නැති වුණා, රසායනාගාර වැහුණා, මිනිස්සුන්ට ඔහුව අමතක වෙලා ගියා.

මේ අතරේ, ටෙස්ලාගේ අදහස් සහ තාක්ෂණයන් පාවිච්චි කරලා වෙනත් අය ලොකු සල්ලි කාරයෝ වුණා.

ඔහුගේ ජීවිතයේ අවසන් කාලයේදී ටෙස්ලා නිව්යෝර්කර් හෝටලයේ කාමරයක හරිම නිහඬව ජීවත් වුණා. ඔහු කළේ පරෙවියන්ට කෑම දෙන එක සහ අලුත් නව නිපැයුම් ගැන දිගටම හිතන එක විතරයි. 1943 දී ඔහු මියයන කොට පත්තරවලින්වත් ඒ ගැන ලොකුවට ගණන් ගත්තේ නැහැ. ලෝකයම ආලෝකමත් කරන්න උදව් කරපු ඒ මිනිසා, කාටවත්ම නොදැනී මියගියා.

අවුරුදු ගණනාවකට පස්සේ තමයි මිනිස්සුන්ට තේරුණේ ටෙස්ලා කරපු සේවය කොච්චර වටිනවද කියලා. අද වෙනකොට ඔහුව සලකන්නේ ඉතිහාසයේ බිහිවුණු ශ්‍රේෂ්ඨතම නව නිපැයුම්කරුවෙක් විදිහට. ඔහුගේ අදහස් අපේ ලෝකය වෙනස් කරන්න උදව් වුණා.

නවීන විදුලි පද්ධති, රේඩියෝ තාක්ෂණය, රැහැන් රහිත සන්නිවේදනය, අනාගත ඉංජිනේරු සංකල්ප මේ හැමදේම ඔහුගෙන ලද දායාද.

අද ලෝකප්‍රකට Tesla Inc. සමාගම නම් කරල තියෙන්නෙත් ඔහුට ගරු කිරීමක් විදිහටයි.

නිකොලා ටෙස්ලාගේ ජීවිත කතාවෙන් අපිට පේනවා දක්ෂතාවයට හෝ බුද්ධියට හැමතිස්සෙම ඒ වෙලාවෙම ඇගයීමක් ලැබෙන්නේ නැහැ කියලා. සමහර වෙලාවට ලෝකයට මහා අදහස් තේරුම් ගන්න ගොඩක් කල් යනවා. ඔහු මියගියේ සල්ලිකාරයෙක් විදිහට නෙවෙයි. හැබැයි ඔහුගේ අදහස් මුළු මිනිස් සංහතියම වෙනස් කළා. ටෙස්ලා අලුත් දේවල් හැදුවේ ඔහු ජීවත් වුණු කාලයට විතරක් නෙවෙයි. ඔහු ඒ හැමදේම නිර්මාණය කළේ අපි මේ ජීවත් වෙන කාලය වෙනුවෙන්.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account