Back to articles
Child Psychology3 Sept 2026 · 6 min read

PTSD

EdSpero teaching desk
Sinhala and English medium

ශ්‍රී ලංකාවේ, සමාජයෙන් කොන් වේ යැයි ඇති බිය හෝ දැනුම අඩුකම නිසා බොහෝ දෙනෙක් මානසික සෞඛ්‍ය ගැන කතා කිරීමට පසුබට වෙනවා. PTSD එහෙමත් නැත්නම් පශ්චාත්-කම්පන මානසික ආතති තත්ත්වය (Post-Traumatic Stress Disorder - PTSD) කියන්නේ භයානක අත්දැකීමකට පසුව ඇතිවන සාමාන්‍ය මානව ප්‍රතිචාරයක් මිස, දුර්වලකමක් නොවන බව තේරුම් ගැනීමට මහජන දැනුවත්භාවය උදව් වෙනවා. සමාජයක් ලෙස විවෘතව මානසික යහපැවැත්ම ගැන කතා කරන විට, වැඩි පිරිසකට ආරක්ෂිත බවක් දැනෙනවා, උදව් ඉල්ලනවා, සහ සුවය ලැබීම වඩාත් වේගවත් හා පහසු වෙනවා. ඇතිවූ ගං වතුර සහ නායයෑම් තත්වය නිසා නිවාස, මාර්ග සහ ජීවනෝපායන් විශාල ලෙස විනාශයට ලක් වුනා. මෙහිදී අපට හානි වූ නිවාස වැනි භෞතික දේ දැක ගන්නට හැකි වුවත්, මානසික හානිය බොහෝ විට පෙනෙන්නේ නැහැ.

ගංවතුර බැස ගියාට පසුවත්, බොහෝ දෙනෙක් දරුවන්, වැඩිහිටියන්, සහ ආධාර සේවකයන් පවා නොනැවතී බිය, දුක, හෝ ආතතිය අත්විඳින්නට පුළුවන්. මෙම මානසික තත්ත්වය පශ්චාත්-කම්පන මානසික ආතති තත්ත්වය (Post-Traumatic Stress Disorder - PTSD) ලෙස හඳුන්වනවා. අපගේ ජීවිත නැවත ගොඩනැඟීමේ දී එකිනෙකාට උදව් කිරීම සඳහා මේ ගැන අවබෝධයක් තිබීම වැදගත්.

අපි මුලින්ම බලමු PTSD කියන්නේ මොකක්ද කියලා.

PTSD කියන්නේ භයානක හෝ ජීවිතයට තර්ජනයක් වූ අත්දැකීමකට මුහුණ දීමෙන් පසු ඇති විය හැකි මානසික සෞඛ්‍ය තත්ත්වයක්. ගංවතුරක් අතරතුර, මිනිසුන් තමන්ගේ ජීවිත ගැන බිය වෙනවා, පවුලේ අයගෙන් වෙන් වෙනවා, තමන්ගේ නිවෙස් නැති වෙනවා, නැත්නම් දුක්ඛිත සිදුවීම් අත්දකින්නට සිදුවෙනවා. මෙම අත්දැකීම් මොළයට දරාගත නොහැකි වූ විට, එය දිගු කාලීන මානසික බලපෑම් ඇති කරනවා.

PTSD හි පොදු ලක්ෂණ වන්නේ

සිදුවීම නැවත නැවත මතකයට ඒම - නපුරු සිහින, ක්ෂණික සිහි කැඳවීම් (flashbacks), නැවත නැවත මතකයට ඒම

මතකයන් මඟහැරීමට උත්සාහ කිරීම - ගංවතුර ගැන කතා කිරීමට අකමැති වීම හෝ ඇතැම් ස්ථාන මඟහැරීම.

ඉතා ඉක්මණින් කලබල වීම - ලෙහෙසියෙන් බිය වීම, නින්ද නොයාම, නිරන්තර කනස්සල්ලෙන් පසුවීම.

මානසිකත්වයේ වෙනස්කම් - දුක, තරහ, වරදකාරී හැඟීම්, හෝ අන් අයගෙන් ඈත් වී සිටින බවක් දැනීම වැනි දේවල්ය.

වැඩිහිටියන්ට, දරුවන්ට වැනි ඕනෑම කෙනෙකුට PTSD තත්වය ඇති වෙන්න පුළුවන්. මෙය ඉතාම සාමාන්‍ය තත්ත්වයක් වන අතර . මෙම තත්ත්වය ඇති වීමෙන් කිසිම කෙනෙක් දුර්වලයි කියලා අදහස් කරන්නේ නැහැ.

එතකොට මේ වගේ ව්‍යසනයකින් පසු PTSD ඇතිවෙන්නේ කොහොමද?

ආපදාවක් ඇති වූ විට, ශරීරය ප්‍රබල මානසික ආතති හෝමෝන නිපදවනවා. මෙම "සටන් කිරීමේ හෝ පලා යාමේ (Flight or Fight Response) " ප්‍රතිචාරය භයානක මොහොතක දී ජීවත් වීමට උදව් කරනවා. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ ඇතිවූ හදිසි ගංවතුර තත්ත්වයක් වගේ තත්ත්වයක දී, අනතුර ඉතා තදින් හෝ දීර්ඝ කාලයක් පැවතුනොත්, තත්ත්වය සමථයකට පත් වූ පසුවත් මොළය "හදිසි අවස්ථා තත්ත්වයේ" දිගටම ක්‍රියා කරන්නට පුළුවන්.

මෙයට, ඇමිග්ඩලා (Amygdala) (මොළයේ බිය හටගන්නා මධ්‍යස්ථානය) අධික ලෙස සංවේදී වීම,

හිපොකැම්පස් (Hippocampus) (මතකය සඳහා වගකිව යුතු කොටස) ගංවතුර සිදුවීම් වල රූප ඉතා සජීවී සහ භයානක ආකාරයෙන් ගබඩා කිරීම,

නිවාස හෝ ආදායම අහිමි වීම වැනි නොනවතින ආතතිය නිසා මානසික සුවය ලැබීමට බාධා වීම වැනි හේතු බලපෑමට පුළුවන්.

මේවායේ ප්‍රතිඵලයක් ලෙස, තද වැස්ස, වතුර ගලන ශබ්දය, හෝ පුවත් වාර්තා වැනි සුළු දේවල් වලට පවා දැඩි බියක් හෝ කනස්සල්ලක් ඇති කරන්නට පුළුවන්.

හරි දැන් අපි බලමු PTSD වලට ප්‍රතිකාර කරන්නේ කොහොමද කියලා. PTSD වලට නිවැරදි සහයෝගය ලැබුණොත් සම්පූර්ණයෙන් සුවය ලබාගන්න පුලුවන්.

මානසික උපදේශනය (Psychological Counseling)

පුහුණු උපදේශකවරුන් හෝ මනෝ විද්‍යාඥයින් දිවි ගලවා ගත් අයට ඔවුන්ගේ හැඟීම් තේරුම් ගැනීමට සහ ක්‍රමයෙන් කම්පනය සමනය කර ගැනීමට උදව් කරනවා. ඵලදායී ප්‍රතිකාර ක්‍රම ලෙස

සංජානන චර්යා චිකිත්සාව (Cognitive Behavioral Therapy - CBT)

කම්පනය-මූලික කරගත් චිකිත්සාව (Trauma-focused therapy)

EMDR (Eye Movement Desensitization and Reprocessing) හඳුන්වන්න පුලුවන්

මෙම ක්‍රම මගින් මොළයට වේදනාකාරී මතකයන් නැවත සකස් කර ගැනීමටත්, බිය අඩු කර ගැනීමටත් උදව් වෙනවා.

ඖෂධ (Medication)

රෝග ලක්ෂණ දරුණු වූ විට, කාංසාව, මානසික අවපීඩනය, හෝ නින්දේ ගැටළු පාලනය කිරීමට වෛද්‍යවරුන් විසින් ඖෂධ නියම කරන්නට පුළුවන්.

ප්‍රජා සහ පවුල් සහයෝගය (Community and Family Support)

අසල්වැසියන්, ආගමික කණ්ඩායම්, සහ පවුලේ අයගේ සහයෝගය නිසා තනිකම සහ සමාජයෙන් කොන්වීම අඩු වෙනවා. විවෘතව කතා කිරීම සහ විනිශ්චය නොකර සවන් දීම ඉතා බලවත් වෙනසක් ඇති කරනවා.

ඉතින්, ගංවතුරෙන් පසු මානසික ආතති තත්ත්වයන් පරාජය කර ආපදාවකින් පසු සුවය ලැබීමට කාලය, ඉවසීම සහ ප්‍රජා රැකවරණය අවශ්‍ය වෙනවා. සුවය ලැබීම සඳහා ඇති සරල නමුත් ඵලදායී පියවර ටිකක් අපි දැන් සාකච්ඡා කරලා බලමු.

ඔබේ අත්දැකීම ගැන කතා කරන්න

පවුලේ අය, මිතුරන්, ගුරුවරුන්, හෝ ප්‍රජා නායකයන් වැනි විශ්වාසවන්ත අය සමඟ හැඟීම් බෙදා ගැනීමෙන් මානසික පීඩනය අඩු වෙනවා. නිහඬව සිටීමෙන් ආතතිය තව තවත් වැඩි වෙන්නට පුළුවන්.

පුමරුදු රටාව පවත්වා ගන්න

පාසල්, රැකියා, ආහාර වේල්, සහ නින්දේ වේලාවන් වැනි සාමාන්‍ය දින චර්යාවන්ට නැවත යොමු වීම මනසට ස්ථාවරත්වයක් ගෙන දෙනවා.

ශරීරය ගැන සැලකිලිමත් වන්න. නිරෝගී පුරුදු මනස සන්සුන් කිරීමට උදව් වෙනවා

නිතිපතා අවශ්‍ය ප්‍රමාණයට නිදා ගැනීම

සරල ව්‍යායාම හෝ ඇවිදීම

සමබර ආහාර වේල්

අවශ්‍ය තරම් වතුර පානය කිරීම

ශ්‍රී ලාංකේය සංස්කෘතියේ අංගයන් වන සිහියෙන් සිටීම (Mindfulness), භාවනාව, යෝග, සහ ආගමික වතාවත් මගින් ද ආතතිය අඩු කර ගන්න පුළුවන්.

ඇතිවන උත්තේජන කළමනාකරණය කර ගන්න

වැස්ස හෝ කුණාටු ඇති වන විට බියක් දැනීම සාමාන්‍ය දෙයක්. හුස්ම ගැනීමේ ව්‍යායාම, සහයෝගය දක්වන අය සමඟ සිටීම, සහ ඔබ ආරක්ෂිත බව ඔබටම මතක් කර දීමෙන් කලබල වීම අඩු කර ගන්නට පුළුවන්.

දරුවන්ට සහාය දෙන්න

දරුවන්, බිය, තරහ වැනි දේ මගින් ආතතිය පෙන්වන්නට පුළුවන්. ඔවුන්ට අවශ්‍ය වන්නේ:

අමතර අවධානය

පැහැදිලි තොරතුරු අවබෝධ කර දීම

ක්‍රීඩා කිරීමට, චිත්‍ර ඇඳීමෙන් හෝ කතා කීමෙන් හැඟීම් ප්‍රකාශ කිරීමට දිරිගැන්වීමක් වැනි දේවල්.

අවශ්‍ය වූ විට වෘත්තීය උපකාර පතන්න

රෝග ලක්ෂණ මාසයකට වඩා පවතී නම්, හෝ පාසල, රැකියාව, හෝ සම්බන්ධතා වැනි දෛනික ජීවිතයට බාධා කරන්නේ නම්, මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු (Counsellor or Psychiatrist) හමුවීම වැදගත්. මුල් අවධියේ ප්‍රතිකාර කිරීම වඩා හොඳ දිගු කාලීන සුවයකට මඟ පාදනවා.

ගංවතුරෙන් ගොඩනැගිලි වලට හානි වෙන්නට පුළුවන්, නමුත් ජලය බැස ගියාට පසුවත් මානසික තුවාල ඉතිරි වෙන්නට පුළුවන්. PTSD තේරුම් ගැනීමෙන්, එකිනෙකාට උදව් කිරීමෙන්, සහ කඩිනම් ප්‍රතිකාර ලබා ගැනීමට දිරිගැන්වීමෙන්, ශ්‍රී ලාංකිකයින්ට නිවාස පමණක් නොව, බලාපොරොත්තුව, විශ්වාසය, සහ මානසික ශක්තිය ද නැවත ගොඩනඟන්නට පුළුවන්. ආපදාවකින් පසු කිසිවෙකු තනිව දුක් නොවිඳින බවට අපට එක්ව සහතික විය හැකියි.

නොපෙනෙන සතුරා

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account