Back to articles
Icons & Innovators3 Sept 2026 · 3 min read

නොබෙල් ත්‍යාගය අහිමි වූ DNA වීරවරිය

EdSpero teaching desk
Sinhala and English medium

නොබෙල් ත්‍යාගය අහිමි වූ DNA වීරවරිය

ඔබ කවදා හෝ සිතා බලා තිබෙනවාද, අපේ ඇස්වල වර්ණය, උස හෝ පෙනුම තීරණය කරන "ජීවයේ රහස් කේතය" මුලින්ම පියවි ඇසින් දුටුවේ කවුද කියලා? බොහෝ දෙනෙක් මෙයට දෙන පිළිතුර "වොට්සන් සහ ක්‍රික්" වුවත්, ඇත්තම කතාව ඊට වඩා හාත්පසින්ම වෙනස්. ඉතිහාසයේ අඳුරු කොනක සැඟවුණු, තමන්ගේ සොයාගැනීම වෙනුවෙන් ලැබිය යුතු නියම ගෞරවය අහිමි වූ ඒ සැබෑ වීරවරියගේ නම වෙන්නේ "රොසලින්ඩ් ෆ්‍රෑන්ක්ලින්".

1920 දී ලන්ඩනයේ ධනවත් පවුලක උපන් රොසලින්ඩ්, කුඩා කල සිටම විද්‍යාවට අතිශය දක්ෂතාවයක් දැක්වූවා. ඇය සාමාන්‍ය විද්‍යාඥවරියක් නෙවෙයි. ඇය සතු වූයේ ඉතාම කුඩා අංශුවල ව්‍යුහය X-කිරණ පාවිච්චි කරලා ඡායාරූප ගත කිරීමේ පුදුම හැකියාවක්.ඇයගේ මේ සියුම් නිරීක්ෂණ හැකියාව නිසාම ඇයට ජීව විද්‍යාවේ විශාලම අබිරහස විසඳන්න අවස්ථාව ලැබුණා.

1950 දශකයේදී ලොව පුරා විද්‍යාඥයන් DNA වල හැඩය කුමක්දැයි සොයන්න දැඩි වෙහෙසක් ගත්තා. එම කාලයේදී ලන්ඩනයේ කිංග්ස් විද්‍යාලයේ පර්යේෂණ කළ රොසලින්ඩ්, පැය 100කට වඩා වැඩි කාලයක් DNA අණුවකට X-කිරණ නිරාවරණය කරමින් ඉතා පැහැදිලි ඡායාරූපයක් ලබාගත්තා. එය හැඳින්වූයේ "Photo 51" නමින්.

මෙම ඡායාරූපය දුටු සැණින් DNA යනු එකිනෙකට වෙළුණු රිබනයක් වැනි "Double Helix" හැඩයක් ඇති බව රොසලින්ඩ් වටහා ගත්තා. ඇයගේ මේ නිහඬ සොයාගැනීම තමයි අද නූතන ජාන විද්‍යාවේ (Genetics) පදනම වෙන්නේ.

රොසලින්ඩ්ගේ ජීවිතයේ අවාසනාවන්තම සිදුවීම වන්නේ, ඇයගේ අවසරයකින් තොරව ඇයගේ සහායකයා විසින් මෙම "Photo 51" ඡායාරූපය ඇයගේ තරඟකරුවන් වූ ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් යන විද්‍යාඥයන්ට පෙන්වීමයි. එම ඡායාරූපය දුටු සැණින් DNA වල රහස වටහාගත් ඔවුන්, 1953 දී ලෝකප්‍රකට Nature සඟරාවට ලිපියක් ලියමින් එම සොයාගැනීමේ සම්පූර්ණ ගෞරවය තමන් වෙත ලබාගත්තා.

රොසලින්ඩ්ගේ දායකත්වය එහි සඳහන් වූයේ ඉතා සුළු වශයෙන්.

වඩාත් කනගාටුදායක කරුණ නම්, 1962 දී ඔවුන්ට මේ වෙනුවෙන් ඔවුන් දෙදෙනාට නොබෙල් ත්‍යාගය පිරිනමන විට රොසලින්ඩ් පිලිකා රෝගයකින් මියගොස් සිටීමයි.

දශක ගණනාවක් යනතුරුම ඇයව හැඳින්වූයේ වොට්සන් සහ ක්‍රික්ගේ "උදව්කාරියක්" ලෙස පමණයි. ඒත්

රොසලින්ඩ්ගේ මිතුරන් සහ පවුලේ අය ඇය වෙනුවෙන් හඬ නඟන්නට පටන් ගත්තා. ඇය කොතරම් දක්ෂ, සහ විද්‍යාව වෙනුවෙන් කැපවුණු කාන්තාවක්ද යන්න ඔවුන් ලෝකයට හෙළි කළා.

අද වන විට ලොව පුරා විද්‍යාගාර, විශ්වවිද්‍යාල සහ ගොඩනැගිලි රාශියක් ඇයගේ නමින් නම් කර තිබෙනවා.

නූතන විද්‍යාඥයන් පිළිගන්නේ රොසලින්ඩ්ගේ අසමසම දත්ත සහ ඒ සුවිශේෂී ඡායාරූපය නොතිබුණේ නම්, DNA වල රහස විසඳීමට තවත් දශක ගණනාවක් ගත වීමට ඉඩ තිබූ බවයි.

ඇය සැබවින්ම විද්‍යා ඉතිහාසය තුළ අසාධාරණයට ගොදුරු වූ, එහෙත් ලෝකය වෙනස් කළ බුද්ධිමතියක්.

අද අපි අපරාධ පරීක්ෂණ වලදී DNA පරීක්ෂණ කරන විට හෝ ජානමය ලෙඩ රෝග වලට ප්‍රතිකාර කරන විට, ඒ සෑම තැනකම ජීවත් වන්නේ රොසලින්ඩ්ගේ අසමසම කැපවීමයි.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account