ලෝකයම වෙනස් වුනු දෙවන ලෝක යුද්ධය

1918 දී පළමු ලෝක යුද්ධය අවසන් වෙද්දී, බොහෝ දෙනෙක් හිතුවේ ලෝකය ඒකෙන් ලොකු පාඩමක් ඉගෙන ගන්න ඇති කියලා. ඒ යුද්ධයෙන් වුණු විනාශය හරිම විශාලයි. ඒ නිසා මෙවැනි විනාශයක් ආයෙත් කවදාවත් වෙන්න ඉඩ තියන්නේ නැහැ කියලා එදා නායකයෝ පොරොන්දු වුණා.
නමුත් ඒ සාමය වැඩි කල් පැවතුණේ නැහැ.
ආර්ථික අපහසුතා, දේශපාලන අස්ථාවරත්වය සහ සමහර රටවල් තුළ, විශේෂයෙන්ම ජර්මනිය තුළ ඇතිවුණු දැඩි කලකිරීම තවත් ගෝලීය යුද්ධයකට අවශ්ය වටපිටාව නිර්මාණය කළා. වසර විස්සක් යන්නත් කලින්, ලෝකය ආයෙත් යුද්ධයකට ලඟා වෙමින් තිබුණා.
1930 ගණන්වල මුල් භාගයේදී, ජර්මනිය දැඩි ආර්ථික ප්රශ්න වලට මුහුණ දීලා හිටියේ. ඒ වගේම "වර්සායි ගිවිසුම" (Treaty of Versailles) නිසා ඔවුන් ඉන්නේ ලොකු අවමානයක කියලයි ඔවුන් හිතුවේ.
මේ අතරතුර, ඇඩොල්ෆ් හිට්ලර් (Adolf Hitler) නම් දේශපාලන නායකයා, ජර්මනියේ ශක්තිය නැවත ගොඩනඟන බවටත් රටේ අභිමානය රැක දෙන බවටත් පොරොන්දු වෙමින් බලයට පත් වුණා.
බලයට පත්වුණු ගමන්ම හිට්ලර් ජර්මනියේ හමුදාව විශාල කරන්න පටන් ගත්තා, ජාත්යන්තර ගිවිසුම් නොසලකා හැරියා. ඔහු අසල්වැසි රටවල් තමන්ගේ පාලනයට ගන්නත් පටන් ගත්තා. ගොඩක් රටවල් මේ ගැන බය වුණත්, ඒක නතර කරන්න වහාම පියවර ගත්තේ හරිම අඩුවෙන්.
1939 සැප්තැම්බර් 1 වෙනිදා, ජර්මනිය පෝලන්තය ආක්රමණය කළා. මේකට ඔවුන් පාවිච්චි කළේ "බ්ලිට්ස්ක්රීග්" (Blitzkrieg) කියන අලුත් යුද උපක්රමය. ඒ කියන්නේ "විදුලි වේගයෙන් කරන යුද්ධය". ටැංකි, ගුවන් යානා සහ පාබල හමුදාව හරිම වේගයෙන් පාවිච්චි කරලා රටක් යටත් කරගන්න එකයි මෙතනදී කළේ.
දවස් කිහිපයක් ඇතුළත පෝලන්තය කඩා වැටුණා. දින දෙකකට පස්සේ, එක්සත් රාජධානිය සහ ප්රංශය ජර්මනියට එරෙහිව යුද්ධ ප්රකාශ කළා. දෙවන ලෝක යුද්ධය නිල වශයෙන් ආරම්භ වුණේ එහෙමයි.
යුද්ධය ව්යාප්ත වෙද්දී, ලෝකයේ රටවල් ප්රධාන සන්ධාන දෙකකට බෙදුණා.
මිත්ර පක්ෂය (The Allied Powers)
එක්සත් රාජධානිය
සෝවියට් දේශය (රුසියාව)
ඇමරිකා එක්සත් ජනපදය
චීනය
ප්රංශය
අක්ෂ බලවතුන් (The Axis Powers)
ජර්මනිය
ඉතාලිය
ජපානය
යුරෝපයෙන් පටන් ගත්තු මේ ගැටුම ඉතා ඉක්මනින් මුළු ලෝකය පුරාම පැතිර ගියා.
ජර්මනිය හරිම ඉක්මනින් බෙල්ජියම, නෙදර්ලන්තය සහ ප්රංශය ඇතුළු යුරෝපීය රටවල් ගණනාවක් යටත් කරගත්තා. ඒ අතරතුර, ජපානය ආසියාව සහ පැසිෆික් කලාපය පුරා තමන්ගේ බලය පතුරුවන්න පටන් ගත්තා.
මුල් අවුරුදු දෙකේදී ඇමරිකාව මේකට සම්බන්ධ වුණේ නැහැ. නමුත් 1941 දෙසැම්බර් 7 වෙනිදා ඒ හැමදේම වෙනස් වුණා. එදා ජපානය ඇමරිකාවේ පර්ල් වරාය (Pearl Harbour) නාවික කඳවුරට හදිසි ප්රහාරයක් එල්ල කළා.
මේ ප්රහාරයෙන් නැව් සහ ගුවන් යානා විනාශ වුණා වගේම දහස් ගණන් සෙබළුන් මියගියා. ඊළඟ දවසේ ඇමරිකාව ජපානයට එරෙහිවත්, ඉන් පස්සේ ජර්මනියට එරෙහිවත් යුද්ධ ප්රකාශ කළා. දැන් ලෝකයේ වැඩි හරියක් රටවල් මේ යුද්ධයට මැදිවෙලා.
කාලයත් එක්ක ලොකු සටන් කිහිපයක් නිසා යුද්ධයේ ගමන වෙනස් වෙන්න පටන් ගත්තා. එයින් වැදගත්ම එකක් තමයි ස්ටාලින්ග්රෑඩ් (Stalingrad) සටන. එතැනදී සෝවියට් හමුදා විසින් ජර්මන් හමුදාව පරාජය කළා.
තවත් වැදගත් අවස්ථාවක් වුණේ 1944 දී සිද්ධ වුණු ඩී-ඩේ (D-Day) ආක්රමණය. මිත්ර හමුදා ප්රංශයට ගොඩබැහැලා බටහිර යුරෝපය නිදහස් කරගන්න පටන් ගත්තේ එතකොටයි. ටිකෙන් ටික අක්ෂ බලවතුන්ට තමන් අල්ලගත්තු ප්රදේශ අහිමි වෙන්න පටන් ගත්තා.
යුරෝපයේදී ජර්මනිය පරාජය වෙමින් තිබුණත්, පැසිෆික් කලාපයේ ජපානය එක්ක කෙරෙන යුද්ධය තවමත් ඉවර වෙලා තිබුණේ නැහැ. ජපානය කෙලින්ම ආක්රමණය කළොත් ලක්ෂ ගණනකගේ ජීවිත නැති වෙයි කියලා ඇමරිකාව බය වුණා.
ඒ වෙනුවට ඔවුන් තීරණය කළා කලින් කිසිම දවසක පාවිච්චි කරලා නැති බලවත් ආයුධයක් පාවිච්චි කරන්න. ඒ තමයි පරමාණු බෝම්බය. 1945 අගෝස්තු 6 වෙනිදා, ජපානයේ හිරෝෂිමා නගරයට පරමාණු බෝම්බයක් හෙළුවා. තත්පර කිහිපයක් ඇතුළත නගරයෙන් වැඩි හරියක් විනාශ වුණා.
දින තුනකට පස්සේ, නාගසාකි නගරයටත් තවත් බෝම්බයක් හෙළුවා. මේ ප්රහාර වලින් මුළු ලෝකයම කම්පනයට පත් වුණා. න්යෂ්ටික ආයුධ වල තියෙන භයානක විනාශකාරී බලය මෙයින් ඔප්පු වුණා. මීට පස්සේ ජපානය තමන් පරාජය වුණු බව නිල වශයෙන් දැනුම් දුන්නා.
මිත්ර හමුදා සහ සෝවියට් හමුදා බර්ලින් නගරය වට කළාට පස්සේ, 1945 දී ජර්මනිය යටත් වුණා. පරමාණු බෝම්බ ප්රහාරයෙන් පස්සේ ජපානයත් යටත් වීමත් එක්ක දෙවන ලෝක යුද්ධය අවසානයේදී නිමාවට පත් වුණා.
නමුත් ඒ වෙනුවෙන් ගෙවන්න වුණු වන්දිය හරිම වැඩියි. කෝටි 6 කට වඩා වැඩි පිරිසකට ජීවිත අහිමි වුණා. මෙය මිනිස් ඉතිහාසයේ දරුණුතම සහ මාරාන්තිකම ගැටුම ලෙස හැඳින්වෙනවා.
දෙවන ලෝක යුද්ධය ලෝක දේශපාලනය මුළුමනින්ම වෙනස් කළා. සාමය පවත්වාගෙන යන්න එක්සත් ජාතීන්ගේ සංවිධානය (United Nations) වැනි නව ජාත්යන්තර ආයතන බිහි වුණා. න්යෂ්ටික ආයුධ නිසා ලෝකයේ අලුත් නොසන්සුන්කාරී යුගයක් ඇති වුණා.
මේ යුද්ධය නිසා රටවල සීමාවන්, ආණ්ඩු සහ ආර්ථිකයන් හැමදේම අලුතින් හැඩගැසුණා. අද අපිට දකින්න තියෙන ජාත්යන්තර දේශපාලන සහ ආරක්ෂක පද්ධති බොහොමයක් නිර්මාණය වුණේ මේ යුද්ධයෙන් ඉගෙන ගත්තු පාඩම් නිසයි.
Everything here is free
No subscription, no paywall. A free account only saves what you have read.
Create a free account