Back to articles
World Knowledge3 Sept 2026 · 6 min read

Hijack

EdSpero teaching desk
Sinhala and English medium

ගුවන්යානා පැහැරගැනීම් අපි ඕනාතරම් අහලා තියෙනවා, එවැනි දර්ශන අඩංගු චිත්‍රපට ඕනා තරම් නරඹලාත් තියෙනවා. ඒත් ඒක එහෙම ලේසි කටයුත්තක් නම් නෙමේයි. ඒ ගුවන් යානාවක් පැහැරගෙන එයින් බේරී පලායාමට ඇති ඉඩකඩ අවම නිසාම හා ඒ හා බැදී ඇති නීතිමය රාමුව නිසා. ලෝකය පුරාම ගුවන් යානා පැහැරගැනීම් වාර්ථා වෙනවා. නමුත් ලාංකිකයෙක් ගුවන් යානාවක් පැහැරගත් බවක් ඔබ අහලා තියෙනවද?

මාතර කරතොටින් ජර්මනිය හරහා ඉතාලියට

1949 ජූනි මස 03 වන දින සේපාල ඒකනායක උපත ලබනුයේ මාතර දිස්ත්‍රික්කයේ කරතොට කියන ග්‍රාමයේ. හම්බන්තොට යෝධ කණ්ඩිය විද්‍යාලයේ ඉගෙනුම ලබන සේපාල අවුරුදු 15දී තම පියාගේ නිවසින් වෙන් වී කොලඹට පැමිණෙනවා.

1972 දී බටහිර ජර්මනිය බලා පිටත්වන ඔහු එහිදී ඉතාලි ජාතික සුරූපිණියක් වූ ඇනා ඇල්ද්‍රොවන්දි මුණගැසෙනවා. එම මුණගැසීම කෙලවරවන්නේ 1977 දී ඇය සේපාලගේ බිරිඳ වීමෙන්.1980දී ඉතාලියේ මොඩෙනා නුවර පදිංචිය ලෙස තොරාගන්නා ඔවුන්ගේ පුතුද උපත ලබන්නේ එහිදී. ඔහු නමින් ෆ්‍රී ඒකනායක.

ගුවන් යානය පැහැර ගැනීම

කලක් ගතවන විට සේපාලගේ වීසා බලපත්‍රය අස්ථානගත වෙනවා. එය නැවත සාදවා ගැනීම සඳහා ඔහු ඉතාලියේ අදාල ආයතන වලට ඉල්ලිම් කිහිපයක්ම ඉදිරිපත් කරත් එම ආයතන සඳහන් කරන්නේ ඔහුට ලංකාවට ගොස් ඉතාලි එම්බසිය මඟින් නැවත ඉල්ලීම කරන ලෙස. එම තීරණය හේතුවෙන් ඔහු ලංකාව බලා පැමිණියත් ඉතාලි එම්බසිය වීසා අයදුම් සඳහා වසර 6ක් බලා සිටින ලෙස ඔහුට දැනුම් දෙනවා.

කිහිපවිටක්ම උත්සහා කෙරූ නමුත් වීසා ලබාගත නොහැකි වූ ඔහු තීරණය කරන්නේ ගුවන් යානයක් පැහැර ගැනීම තුලින් ඔහුගේ ඉල්ලිම ඉදිරිපත් කිරීමට.

ඒ අනුව ඔහු 1982 ජූනි 30 තම මිතුරන් කිහිපදෙනෙකු සමග ඉන්දියාවේ නවදිල්ලි නුවරට ලඟාවෙන්නේ ඔහුගේ ඉලක්කය සපුරා ගැනීමට. ඒ ඉතාලියේ අලිටාලියා ගුවන් සේවයට අයත් බෝයින් 747 වර්ගයේ AZ 1790 දරන ගුවන් යානය. එම ගුවන් යානය එදින ඉතාලියේ සිට නවදිල්ලිය හා බැංකොක් හරහා ජපානය බලා පියාසර කිරීමට නියමිතව තිබුනා. නවදිල්ලි නුවරදී සේපාල මේ ගුවන් යානයට ගොඩවන්නේ කෙසේ හෝ තම ඉල්ලීම් දිනා ගැනීමේ අටියනින්.

ඉතාලි රජයෙන් කරන ලද ඉල්ලීම්

මගීන් 340ක් පමණ රැගත් යානය ගුවන්ගත වී අඩි 35000 සීමාවට පැමින එය ස්ථායී වු පසු සේපාල ඔහුගේ මෙහෙයුම ක්‍රියාතමක කරනවා. ඒ තමන්ගේ ඉල්ලිම් සහිත ලිපියක් ගුවන් නියමුවාට ඉදිරිපත් කිරීම තුලින්. ඔහුගේ ලිපියේ පහත ඉල්ලීම අඩංගු වී තිබුනා.

තම පුතා සහ බිරිඳ බැංකොක් ගුවන්තොටුපලට ගෙනවිත් දීම.

ඩොලර් 300,000ක් තම ගිණුමට කප්පම් මුදල් වශයෙන් බැර කිරීම.

ගුවන් යානය බැංකොක් ගුවන්තොටුපලේ ගොඩබැස්සවූ පසුවත් සියලු දොරවල් වසා තිබිය යුතු වීම හා තම ඉල්ලීම රේඩියෝ මඟින් පමණක් ඉතාලි/ බැංකොක් බලධාරීන්ට සන්නිවේදනය කිරීම.

මුලා කිරීම් සිදු නොවිය යුතු අතර එසේ වුවහොත් ඉතාලියේ නිෂ්පාදිත නවීන බෝම්බ මඟින් යානය පුපුරුවාහරින අතර ඊට සමගමීව මොඩෙන නගරයේද පිපිරීම සිදුවනු ඇත.

ලිපිය දුටු ගුවන් නියමු ජියාර්ගෝ අමරෝසා වහාම යානය අඩි 25000 දක්වා පහතට ගනු ලැබුවා. ඒ සිදුවිය හැකි හානිය අවම කර ගැනීමේ උපක්‍රමයක් ලෙස.

පැය කිහිපයක් ගතවන විට ඔහුගේ ඉල්ලිම ලබා දෙන බව තොරතුරු දැනගන්න ලැබෙනවා. පැය 30කට පමණ පසු මඟීන් රැගත් ගුවන් යානය බැංකොක් වෙත ලඟවීමත් සමඟ සේපාල සියලු මගීන් මුදාහරිනවා.

පැහැරගැනීමෙන් පසු

කෙසේවෙතත් තම බිරිඳ, පුතා සහ ලැබුන මුදලත් රැගෙන කොහේ කොතනකට යනවාදැයි සේපාලට වැටහීමක් තිබුනේ නැති තරම්. එමෙන්ම සේපාල අතින් සිදු වූ වරදද දැඩි දඩුවම් ලැබිය හැකි වරදක් වුනා.

ගුවන් ගමන් නීති අනුව මෙම යානය ඉතාලියට අයිති වුවත් සිද්ධිය පිලිබඳ විමර්ශන කල යුතුව තිබුනේ තායි බලධාරීන්. නමුත් බලධාරීන්ගෙන් සිදුවූ දෝෂයන් සහ ශ්‍රී ලංකා තනාපතිනිය වූ මානේල් අබේසේකර මහත්මියගේ ආරක්ෂාව නිසාම කරදරයකින් තොරව සේපාලට ලංකාවට පැමිණීමට හැකි වෙනවා.

නමුත් ඉතාලි රජය සේපාලව ඔවුන්ට භාරදෙන ලෙස බලපෑම් කරමින් ඉල්ලා සිටියා. නමුත් පොදු මතය වූයේ එය එසේ නොවිය යුතු යන්නයි. එමෙන්ම අනෙක් අතට අන්තර්ජාතික අපරධකරුවෙකු ආරක්ෂා කරමින් සිටීම නිසාවෙන් ශ්‍රී ලංකාව උභතොකෝටික ප්‍රශ්නයකට මුහුණ දෙමින් සිටියා.

එකවර කරුණු දෙකකින් ඉතිහාසගත වීම

කෙසේ නමුත් සේපාල ඉතිහාසගත වන්නේ ගුවන් යානයක් පැහැරගැනීම නිසාම නොවේ. ඒ එවකට ගුවන් යානා පැහැරගැනීම වලක්වා ගැනීමට ශ්‍රී ලංකාවේ නීති සම්පාදනයවී නොතිබුනු නිසාවෙන්. එම නිසා සේපාලව අත් අඩංගුවට ගැනීමට එවකට නීතිය අනුව පැමිණිල්ලක් අවශ්‍යව තිබුනා.නමුත් 1982 ජූලි 3 වන දින වනතුරුත් පැමිණිල්ලක් පොලිස් පොතේ සටහන් වී නොතිබුනු නිසා සේපාල නිදහස් මිනිසෙක් ලෙසයි ජීවත් වුයේ.නමුත් ජූලි 3 වන දින ඉතාලි තානාපති විසි ගොනු කරන ලද පැමිණිල්ල හේතුවෙන් සේපාල ගාල්ල පොලිසිය මඟින් අත් අඩංගුවටගෙන වැලිකඩ සිරගෙදරට ගෙන එනු ලබනවා. තානාපති කාර්‍යාලය මඟින්ම ඔහුගේ පුතු සහ බිරිඳ නැවත ඉතාලිය වෙත හරවා යවන්නේ ඉන්පසුවයි.

ගුවන් යාන පැහැර ගැනීම් සම්බන්ධ නීතී සම්පාදනය වන්නේ ඉන්පසුවයි. සේපාලට දඬුවම් ලබාදීමට නව නීති සමපාදනය කිරීමට ජේ. ආර් රජයට සිදුවනවා.මෙය ලංකා ඉතිහාසයේ අතීතයට බලපාන ලෙස සම්පාදනය කරන ලද පළමු නීතිය ලෙස ඉතිහාස පොත් අතර ලියවෙනවා. ඒ අනුව 1982 ජූලි 26 දී ගුවන්යාන අපරාධ සම්බන්ධ පනතක් සම්මත වෙනවා. සේපාලගේ නඩු විභාගය නීතිපති වෙනුවෙන් ඉහළ උසාවියේ විනිසුරු නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජේ.ජේ. එස්. ඒ ඩයස් උපවංශ යාපා ඉදිරියේදී විභාග කරනු ලැබූ අතර සේපාල වෙනුවෙන් සුප්‍රසිද්ධ නීතීඥ රන්බණ්ඩා සෙනෙවිරත්න පෙනී සිටියා.

සිරගත වීමෙන් පසු

අවසානයේ අවුරුදු 5කට සිරදඬුවම් නියම වන ඔහු සිරගතව සිටි කාලයේ නාට්‍ය නිෂ්පාදන කෙරූ බවද සඳහන්. කෙසේ නමුත් 1987 වසරෙදී ඔහුව නිදහස් කෙරෙනවා.

අතර ඉන්පසුව ඔහු ඉංග්‍රීසි ගුරුවරියක් වූ යසංගනී මධුපාලි සමඟ විවාහ ගිවිස ගන්නා අතර එම විවහයෙන් ඔවුන්ට පුතෙක් සහ දියණියක් සිටිනවා. සිරගත කර සිටියදී ලිවීම ප්‍රගුණ කල ඔහු "උට සහ තොට" යන නමීන් පොතක්ද ලියා තිබෙනවා. 1994 පාර්ලිමේන්තු මැතිවරණයෙදී ඔහු පොදුජන එක්සත් පෙරමුණ බලයට ගෙන ඒමට අනුරාධපුර, පොලොන්නරුව, මාතලේ යන ද්‍රිස්තික්ක වලදී විශාල වැඩකොටසක් කල අයෙක්ද වෙනවා.

අරමුණ කුමක් උවත් ගුවන් යානයක් පැහෑර ගැනීම සහ මිනිසුන් ප්‍රාණ ඇපයට ගැනීම නීතියට පටහැනි ක්‍රියාවක්. ඒ වගේම ඉන්පසු රටක් ලෙස ජාත්‍යන්තරය ඉදිරියේ පෙනී සීටිමද අමාරු කරුණක්. නමුත් සිද්ධිය කරුණු බොහොමයක් වෙනුවෙන් රජය සහ මහජනතාවගේ අවධානය යොමු කෙරුණු සිද්ධියක් වෙනවා.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account