Back to articles
History & Heritage3 Sept 2026 · 5 min read

Voynic Manuscript

EdSpero teaching desk
Sinhala and English medium

කිසිවෙකුට කියවිය නොහැකි ලොව අභිරහස්ම පොත

සිතන්න, සියවස් ගණනාවක් පැරණි, ලෝකයේ කොහේවත් නැති භාෂාවකින් ලියැවුණු, මේ මිහිපිට කවදාවත් දැකලා නැති ශාක සහ සතුන්ගේ රූපවලින් පිරුණු අමුතුම පොතක්. එහි ඇති එකදු වචනයක්වත් තවමත් ලෝකයේ කිසිවෙකුට කියවිය නොහැකි නම්? යේල් විශ්වවිද්‍යාලයේ දුර්ලභ ග්‍රන්ථ හා අත්පිටපත් පුස්තකාලයේ තැන්පත් කර තිබෙන Voynic Manuscript මේ පොත, ඉතිහාසයේ විසඳාගත නොහැකි වූ ශ්‍රේෂ්ඨතම අභිරහස් වලින් එකක්. කාබන් කාල නිර්ණයට අනුව ක්‍රි.ව. 1420 දී පමණ නිර්මාණය වූවක් ලෙස සැලකෙන, පිටු 240 කින් සමන්විත මෙම ග්‍රන්ථය, තේරුම්ගත නොහැකි අක්ෂර මාලාවකින් සහ මනංකල්පිත චිත්‍ර වලින් පිරී පවතිනවා.

මෙහි තිබෙන රූප සටහන්වලට හැටියට, මේ පොත ප්‍රධාන කොටස් හයකට බෙදලා තියෙනවා ඒ කොටස් වෙන්නේ උද්භිද විද්‍යාව, තාරකා විද්‍යාව, ජ්‍යොතිෂය, ජීව විද්‍යාව, විශ්ව විද්‍යාව, සහ ඖෂධවේදයයි. මීට අමතරව විවිධ අත්බෙහෙත් හෝ වට්ටෝරු සමූහයකුත් මෙහි ඇතුළත්. ඇතැම් අය විශ්වාස කරන්නේ මේක ලියලා තියෙන්නේ හීබෲ (Hebrew) භාෂාවේ යම් වෙනස් වූ ස්වරූපයකින් කියලයි.නමුත් එහි ඇති ප්‍රධාන අභිරහස නම් සියවසකට අධික කාලයක් පුරා, ලොව දක්ෂතම කේත විද්‍යාඥයින්, ඉතිහාසඥයින් හෝ වෙනත් කිසිදු විශේෂඥයෙකුට එහි ඇති එකදු වචනයක්වත් තේරුම් ගැනීමට නොහැකි වීමයි.

මෙම පොත නම් කර ඇත්තේ 1912 දී ඉතාලියේදී එය සොයාගත් පෝලන්ත ජාතික පොත් වෙළෙන්දෙකු වූ විල්ෆ්‍රිඩ් වොයිනික් (Wilfrid Voynich) සිහිවීම පිණිසයි. එහි පිටු පෙරළන විට අප පිවිසෙන්නේ සිහිනයක් බඳු, මනංකල්පිත ලෝකයකටයි. මේ අත්පිටපතේ පිටු 240 පුරාම ඇඳ ඇති සිහිනයකින් උපුටා ගත්තාක් වැනි අමුතු සහ විචිත්‍රවත් සිතුවම් එහි අභිරහස තවත් ගැඹුරු කරනවා මිස, කිසිදු හෝඩුවාවක් සපයන්නේ නැත. සැබෑ සහ මනඃකල්පිත ශාක, පාවෙන මාලිගා, දිය නාන කාන්තාවන් සහ ජ්‍යොතිෂ රූප සටහන් සහ රාශි චක්‍ර වැනි විවිධාකාර සහ අද්භූත රූප එකතුවක් ඇතුළත් වෙනවා.

එහෙත් මෙම මනඃකල්පිත රූප පිටුපස ඇති සැබෑම අභිරහස වන්නේ, ඒ රූප සමඟ සම්බන්ධ වන තේරුම්ගත නොහැකි අක්ෂර සමූහයයි.

ගුප්ත ලේඛන විද්‍යාඥයින් පවසන්නේ මෙම ලේඛනයේ අහඹු ලෙස ලියූ අකුරු එකතුවකට වඩා, සැබෑ භාෂාවක සියලු ලක්ෂණ ඇති බවයි. මෙයට ප්‍රධාන හේතුව නම්, අප දන්නා භාෂාවන්හි මෙන්, මෙම ලේඛනයේ ඇති අකුරු සහ අකුරු කාණ්ඩ නිශ්චිත රටාවකට අනුව සහ ස්ථාවර සංඛ්‍යාතයකින් යෙදී තිබීමයි. මෙය අහඹු ලෙස ලියූ අර්ථයක් නොමැති අකුරු ගොඩකින් බලාපොරොත්තු විය නොහැකි ලක්ෂණයක්. මෙම අත්පිටපත අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු විසින් ලියා ඇති බවත්, එහි ඇති චිත්‍ර තවත් පුද්ගලයෙකු විසින් අඳින ලද බවත් සැක කරනවා.

මෙම අද්විතීය ලේඛනයේ අරමුණ සහ මූලාරම්භය පිළිබඳව ප්‍රධාන මතවාද කිහිපයක් ගොඩනැගී ඇත.පසුගිය සියවස පුරා, මෙම අත්පිටපතේ ලේඛනය පැහැදිලි කිරීමට ප්‍රධාන න්‍යායන් තුනක් ඉදිරිපත් වී තියෙනවා.

පළමුවැන්න, මෙය රහස්‍ය අර්ථයක් සැඟවීම සඳහා හිතාමතාම නිර්මාණය කරන ලද රහස් කේතයක් හෙවත් "සංකේතයක්" (cypher) බවයි.

දෙවැනි න්‍යායට අනුව, මෙය ධනවත් ගැනුම්කරුවෙකු රැවටීම සඳහා නිර්මාණය කරන ලද අර්ථ විරහිත ලියවිල්ලක්. සමහරුන් විශ්වාස කරන්නේ මධ්‍යකාලීන වංචාකාරයෙකු මෙය නිර්මාණය කළ බවත්, තවත් සමහරුන් 20 වන සියවසේදී විල්ෆ්‍රිඩ් වොයිනිච් විසින්ම මෙය නිර්මාණය කළ බවයි.

තෙවැන්න "නැතිවූ භාෂා න්‍යායයි". ඒ අනුව, මෙය කතා කරන නමුත් ලියා නොතිබූ භාෂාවක් සඳහා අක්ෂර මාලාවක් නිර්මාණය කිරීමට මධ්‍යකාලීන විද්වතුන් ගත් උත්සාහයක් කියලයි. මෙය පාස්කු දූපතේ නිර්මාණය වූ, දැන් කියවිය නොහැකි "රොන්ගොරොන්ගෝ" අක්ෂර මාලාවට සමාන වෙන්න පුළුවන් කියලා මතයක් තියෙනවා.

වසර 100 කට අධික කාලයක් පැවති අසාර්ථක උත්සාහයන්ගෙන් පසුව, භාෂා පර්යේෂකයන් මෑතකදී කුඩා නමුත් ඉතා වැදගත් ප්‍රගතියක් ලබා ගත්තා. ඔවුන් අත්පිටපතේ ඇති වචන කිහිපයක්, ඒවාට යාබදව ඇති සිතුවම් සමඟ ගලපමින් තාවකාලිකව හඳුනාගෙන තිබෙනවා. මෙම සොයාගැනීම් තවමත් තහවුරු කර නොමැති වුවත්, ඒවා ඉතා සිත්ගන්නා සුළුයි.

කෘතිකා නම් තරු හතේ රූපය අසල ඇති අක්ෂර, එම තරු ඇතුළත් වන වෘෂභ තාරකා මණ්ඩලය (Taurus) හැඳින්වීමට යොදා ගන්නා "Tauran" යන වචනය විය හැකිද? යම් නිශ්චිත ශාකයක චිත්‍රය අසල ඇති වචනය, එම ශාක වර්ගය හැඳින්වෙන "Centaurun" යන්න විය හැකිද?

මෙම ප්‍රගතිය ඉතා සෙමින් සිදු වුවද, සියවසකට පසු මෙම කේතය බිඳ දැමීම සඳහා ලැබුණු පළමු ඉඟි මේවා විය හැකියි.

අපට කවදා හෝ මෙම කේතය බිඳ දැමීමට හැකි වුවහොත්, අපට කුමක් සොයා ගැනීමට හැකි වේවිද? මෙම කේතය බිඳ දැමුවහොත්, අපට හමුවිය හැකි දේ පිළිබඳ අනුමාන කිරීම පවා සිත් ඇදගන්නා සුළුයි. එය 15 වන සියවසේ චිත්‍ර ශිල්පියෙකුගේ සිහින සටහන් පොතක් ද, අර්ථ ශූන්‍ය ලේඛන එකතුවක් ද, එසේත් නැතිනම් අමතක වූ සංස්කෘතියක නැතිවී ගිය දැනුම ද?

ඔබ සිතන්නේ මෙය කුමක් කියාද?

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account