Back to articles
Smart Learning Techniques3 Sept 2026 · 4 min read

වැරැද්ද තියෙන්නේ අපි උගන්වන විදියේ

EdSpero teaching desk
Sinhala and English medium

වඩාත් නිර්මාණශීලී කියලා දැනෙන විදියට උගන්වන පන්ති අවසානයේත් ළමයි සමහර වෙලාවට එළියට යන්නේ ලොකු පටලැවිල්ලක් හිතේ තියාගෙන. පිටතින් බලන කෙනෙකුට මෙතන කිසිම වැරද්දක් පේන්නේ නැහැ. හැබැයි ඇතුළතින් සිද්ධ වෙන්නේ වෙනම දෙයක්. ඒ තමයි 'මතකයට දරන්න බැරි තරම් බරක්' (Cognitive Overload) එකතු වීම.

හරි විදිහට උගන්වන්නේ කොහොමද කියලා තේරුම් ගන්න නම්, අපි ඉස්සෙල්ලාම මිනිස් මනසේ තියෙන මේ නොපෙනෙන බාධකය, ඒ කියන්නේ 'ක්‍රියාකාරී මතකය' (Working Memory) ගැන දැනගන්න ඕනේ.

මොළය කාමර දෙකක් තියෙන තැනක් විදිහට හිතන්න. පළවෙනි එක තමයි 'ක්‍රියාකාරී මතකය'. මේක හරියට හීනි, පටු කොරිඩෝවක් වගේ. අලුත් තොරතුරු මොළයට එන්නේ මේ හරහා. මේකේ තියෙන ප්‍රශ්නය තමයි, එක සැරයකට මෙතන රඳවා ගන්න පුළුවන් වෙන්නේ තොරතුරු කැබලි හතරක් වගේ බොහොම පොඩි ප්‍රමාණයක් විතරයි. ඔබ එකපාරට කරුණු හයක් හතක් ළමයෙකුට දුන්නොත්, අර පටු කොරිඩෝව හිරවෙනවා. එතකොට අලුත් තොරතුරු වලට යාගන්න බෑ. හිතන්න නිකන් ඒ ටික බිම වැටිලා අමතක වෙලා යනවා.

දෙවැනි කාමරය තමයි 'දිගුකාලීන මතකය' (Long Term memory). මේක හරියට සීමාවක් නැති විශාල ගබඩාවක් වගේ. නියම ඉගෙනීම තියෙන්නේ මෙතනයි. මෙතන තොරතුරු තැන්පත් වෙන්නේ Schemas විදිහට. ශිෂ්‍යයෙක් යම් දෙයක් ගැන හොඳට ඉගෙන ගත්තම, ඒ සංකීර්ණ කරුණ අර පටු කොරිඩෝවෙන් ලේසියෙන්ම ඇතුළට යනවා.

ගුරුවරයෙක්ගෙන් වෙන්න ඕනා අර පටු කොරිඩෝව ඇතුළට යන 'ට්‍රැෆික්' එක පාලනය කරන එකයි. මේ 'මතකයේ බර' ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්.

සහජ බර (Intrinsic Load): මේක විෂය කරුණේ තියෙන අමාරුකම. හිතන්න ගණිතය වගේ විෂයක් ලේසි කරන්න බැහැ, හැබැයි ඒක පොඩි කොටස් වලට කඩලා උගන්වන්න පුළුවන්.

අනවශ්‍ය බර (Extraneous Load): මේක තමයි bad weight විදියට හඳුන්වන්න පුළුවන්. අවුල් සහගත විදිහට හදපු slides/tutes පන්තියට බාහිරින් එන විවිධ බාධක, නැත්නම් පාඩමට අදාළ නැති අනවශ්‍ය විස්තර නිසා ළමයාගේ මොළයට ඇතිවෙන බර මේකට අයිතියි.

ඉගෙනුම් බර (Germane Load): මේක good weight විදියට විදියට හඳුන්වන්න ළමයෙක් අලුත් දෙයක් තේරුම් අරගෙන මතකයේ තැන්පත් කරගන්න දරන උත්සාහය මේකයි.

ගුරුවරයාගේ ඉලක්කය විය යුත්තේ, අනවශ්‍ය බර අයින් කරලා, විෂය කරුණේ බර කළමනාකරණය කරලා, ඉගෙනීමට අවශ්‍ය බර උපරිම කරන එක. එතකොට හිතන්න පාඩම් වලට අදාල කාරණාම විතරක් නෙමේ, හුඟාක් දේවල් වල කලමණාකරණය තියෙන්නේ ගුරුවරයෙක් අතේ.

මොළයේ ක්‍රියාකාරිත්වය ගැන දැනගෙන පාඩමක් ඉගැන්වීම වෙනස් කලයුත්තේ මේ විදියට.

  1. "විසඳපු උදාහරණ" වල බලය

මුලින්ම ඉගෙන ගන්න ළමයෙකුට අමාරු ගාණක් දීලා "මේක විසඳන්න" කියනවා වෙනුවට, ගුරුවරයා මුලින්ම ඒක විසඳන හැටි පියවරෙන් පියවර පෙන්වන්න ඕනේ. එතකොට ළමයා කලබල වෙන්නේ නැහැ. ළමයා ඒ ක්‍රමය තේරුම් ගත්තාට පස්සේ, හෙමින් හෙමින් ගුරුවරයා දෙන උදව් අඩු කරන්න පුළුවන්.

  1. "අවධානය බෙදී යාම" නැවැත්වීම

හිතන්න යම්කිසි රූපයක් එක පිටුවකත් ඒ රූපයෙම කොටස් නම් කිරීම ඊලඟ පිටුවේත් තියෙනවා. දැන් ලමයාට සිද්ධ වෙනවා මේ පිටු අතරේ මාරු වෙන්න. මේකෙන් මතකයට අනවශ්‍ය බරක් එනවා. ඒ වෙනුවට සියල්ලම එක පිටුවක තිබුනොත්, මොළයට ඒක එකපාර තේරුම් ගන්න ලේසියි.

  1. රූප සහ ශබ්දය ගළපා ගැනීම

මොළයට තොරතුරු ගන්න පාරවල් දෙකක් තියෙනවා: එකක් ඇස (Visual), අනික කන (Auditory) සරල රූපයක් පෙන්වලා ඒ ගැන කටින් විස්තර කරන්න පුළුවන් නම්, මොළයේ පාරවල් දෙකම පාවිච්චි වෙන නිසා ඉගෙනීම දෙගුණයක් කාර්යක්ෂම වෙනවා.

මේ 'නොපෙනෙන බාධකය' ගැන දැනගෙන උගන්වන කොට පන්තිය සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. එතකොට ළමයින්ට තමන් 'දුර්වලයි' කියලා හිතෙන්නේ නැහැ. මොකද ගුරුවරයා උගන්වන්නේ මොළය වැඩ කරන විදිහට ගැලපෙන්න.

Everything here is free

No subscription, no paywall. A free account only saves what you have read.

Create a free account